"කිසිවෙකුට හොර ඡන්දවලින් පත්වෙන්න ඉඩ තියන්නේ නැහැ" -පරිවර්තන කමිටු සභාපති
01 September 2026 | සසිත සේනානායක
"කිසිවෙකුට හොර ඡන්දවලින් පත්වෙන්න ඉඩ තියන්නේ නැහැ" -පරිවර්තන කමිටු සභාපති
01 September 2026 | සසිත සේනානායක
ශූරියන්ගේ කුසලාන තරගාවලිය මෙරට සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වීමේලා තවමත් අවකාශ පවතින බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු දැනටමත් සම්පාදනය වෙමින් බවත් ඊයේ (31 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මාසික ප්‍රගති සමාලෝචන මාධ්‍ය හමුවේදී එහි ලේකම් ප්‍රකාෂ් ශාෆ්ටර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ලේකම් ප්‍රකාශ් ශාෆ්ටර් විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන වාර්තා වූ මාධ්‍ය වාර්තා පිළිබඳව ඔහු වෙත නැගුණු ප්‍රශ්න හමුවේ ඔහු මෙම කරුණු දැක්වූ අතර තමන් පසුගිය කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) විසින් ආදේශක ස්ථාන සෙවීම පදනම් කරගෙන මෙම ප්‍රකාශය සිදු කළ බවත්, තවමත් කිසිදු ආකාරයක ශූරියන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳ අයි.සී.සී ය අවසන් තීරණයකට එළැඹ නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම මේ පිළිබඳව අදහස් දැක්වූ පරිවර්තන කමිටු සභාපති එරාන් වික්‍රමරත්න, මෙවන් ගැටලුකාරී තත්ත්වයකට හේතුව වත්මන් පාලනාධිකරිය නොවන බවත්, පෙර සිට පැන නැගුණු ගැටලු මේ සඳහා බාධා වී ඇති බවත් ප්‍රකාශ කළේය. එසේම තමන් ඇතුළු කණ්ඩායමේ ඒකායන අරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් නිවැරැදි පාලන ව්‍යුහයක පිහිටුවීම බව පැවැසූ ඔහු ඒ සඳහා කිනම් බාධාව එල්ල වුව ද එය සිදු කරන බව පැවැසීය.
ශූරියන්ගේ කුසලානය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා "අපි මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග මේ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරමින් පවතිනවා. ඒ වගේම අපි ගන්නා සෑම ක්‍රියාමාර්ගයක් ගැනම ඔවුන් විමසිල්ලෙන් සිටිනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමිනුයි සිටින්නේ." යනුවෙන් පැවැසීය.
අනතුරුව, සත්කාරකත්වය අහිමි වුවහොත් ශ්‍රී ලංකාවට අවස්ථාව අහිමි වීමේ අවදානම පිළිබඳව (ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හී 6වැනි තැන පසුවුවද සත්කාරක රට බවට පත්වීම මත මෙම තරගාවලිය සඳහා සහභාගීවීමේ අවස්ථාව ස්ථාවර විය) මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දුන් කමිටු සාමාජික හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර, සියලු සාමාජික රටවල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා බැඳී ඇති බැවින් ඔවුන් පවසන ආකාරයට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව නිලවරණයකින් බලය ලත් නිලධාරී මඩුල්ලක් සමග මෙම අවස්ථාවට මුහුණ දිය යුතු බව ප්‍රකාශ කළේය. ඒ සඳහා තම කණ්ඩායම සූදානම් බවත් එයට පෙර ශක්තිමත්, වගවීමක් සහිත නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කොට ඒ යටතේ නිලවරණය පැවැත්වීමේ අපේක්ෂාව පවතින බවත් ඔහුගේ අදහස විය. නොවැම්බර් මස පැවැත්වෙන අයි.සී.සීයේ මීළඟ රැස්වීම වන විට නිසි ආකාරයෙන් දින වකවානු නම් කරමින් ශ්‍රී ලංකාව නිලවරණයට සූදානම් බව දැක්වුවහොත් සත්කාරකත්වය රැක ගැනීමේ අවස්ථාව පවතින බවත් ඔහු පැවැසීය.
මෙහිදී හිටපු තේරීම් කමිටුවේ සාමාජිකයන් වෙත ඉවත්වීමෙන් පසු සිදුකරන ලද ගෙවීම් පිළිබඳව නැගුණු පැනයකට පිළිතුරු දුන් සභාපතිවරයා එම තීරණය ආයතනයට වාසි සහගත ක්‍රමවේදය පදනම් කරගනිමින් කටයුතු කළ බව ප්‍රකාශ කළේය. එසේම තේරීම් කමිටු සාමාජිකයන් ක්‍රීඩා සමාජවල නිලතල දැරීම පිළිබඳව මාධ්‍ය වෙතින් ප්‍රශ්න නැගුණු අතර එහිදී සභාපතිවරයා, ළබැඳියාවේ ගැටුම පිළිබඳ ගැටලුවකදී එවන් සබඳතාවක් ඇති පුද්ගලයෙකු සිටීනම් ඔවුන් එම බැඳීම් හා සම්බන්ධ මාතෘකාවලදී එයට සම්බන්ධ නොවී ස්වේච්ඡාවෙන් ඉවත් විය යුතු බවත් ප්‍රකාශ කළේය.
එසේම ඉදිරි නිලවරණයෙන් පත්වන කිසිවෙකුටවත් 'හොර ඡන්දවලින්' තේරී පත්වීමේ අවකාශ නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
මෙම කරුණුවලින් අනතුරුව ක්‍රීඩාවේ සංවර්ධනය කෙරෙහි වත්මන් පරිවර්තන කමිටුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කළ කුමාර් සංගක්කාර, දේශීය ක්‍රිකට් ඉහළ තලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පැවැසීය. "අපේ ක්‍රීඩකයන්ගේ පිටුපස ඉන්න සහය කාර්යමණ්ඩලයට කරන්නට තිබෙන්නේ ගැළපෙන ක්‍රීඩකයන් තෝරාගත්තාම ඔවුන්ව නිසි ආකාරයෙන් පරිපාලනය කිරීමයි. අපි මේ වන විට පුහුණුකරුවන් පහළ සිට ඉහළට පෙළ ගස්වලා තියෙනවා. එහිදී දිස්ත්‍රික් මට්ටමේ සිට, කණ්ඩායම්වලට විශේෂඥ පුහුණුකරුවන් තෝරගෙන ඔවුන් යටතේ අනෙක් පුහුණුකරුවන් පෙළගස්වලා තියෙනවා. ඒ වගේම පළමු පෙළ ක්‍රිකට් ගත්තාම අපි කොහොමද ක්‍රීඩා සමාජ 10ක් එක්ක හරියට ඉදිරියට යන්නෙ, කොයි විදියටද ඒවගේ උසස්වීම් සහ පහළයාම් සිදුකරන්නේ වගේම හොඳම ක්‍රීඩකයන් කොහොමද හොඳම ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරවන්නෙ කියන දේවල් අපි සැලසුම් කරනවා. ඒ වගේම කොහොමද අපි පුහුණුකරුවන් තක්සේරු කරලා බඳවාගන්නේ කියන එක. අයදුම්පත් කැඳවලා, හරි සුදුසුකම් සහිත, නිසි පළපුරුද්දක් සහිත පුහුණුකරුවන් අපි බඳවාගන්නවා. ජාතික කණ්ඩායමේ ජයග්‍රහණයට පාර්ශ්ව රැසක දායකත්වය බලපානවා. උසස් දක්ෂතා ඒකකයෙන් කරන්න අවශ්‍යවන්නේ, පහළ ඉන්න දක්ෂතා සහිත ක්‍රීඩකයන්ව කොහොමද ජාතික තලයට ගෙන එන්නේ කියන එක ගැන බලන එකයි. ඔවුන් දක්ෂතා සහිත ක්‍රීඩකයන් හඳුනාගත යුතුයි. ඒ වගේම ජාතික කණ්ඩායමෙන් "අපිට මේ වගේ ක්‍රීඩකයන් අවශ්‍යයි" කියපුවාම, ඊට ගැළපෙන ක්‍රීඩකයන් හඳුනා ගැනීමට හැකියාව තිබිය යුතුයි. ඒ සඳහා සැලසුම් සකස් කරගෙන යනවා. ඒ වගේම ජාතික කොන්ත්‍රාත්තුවට එකතු වෙන ක්‍රීඩකයන් ගණන අවම කරලා, ඔවුන්ගේ වටිනාකම සහ ලැබිය යුතු වේතනය වැඩි කරන්න කටයුතු කරන්න අවශ්‍යයි. ඒ වගේම ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වේතන වැඩි කරන්න කටයුතු කරන්න වගේම මේ වනවිට ඉහළම දක්ෂතා දක්වන කාන්තා ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේත් වටිනාකම ඉහළ නැංවිය යුතුයි. අනිත් වැදගත්ම දේ දත්ත විශ්ලේෂණය. ඒ සඳහා වන ප්‍රබල කණ්ඩායමක් අපි හදාගන්න අවශ්‍යයි. ඒ වගේම තනතීරු සකසන්නන්න්ගේ වේතන වැඩි කරලා ඔවුන්ට වගකීම් දීල තියෙනවා ක්‍රීඩා පිටි ගැන බලන්න. මේ සියලු කාර්යයන් කරන්න අවශ්‍ය සැලසුම අපි හදාගෙන යනවා." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

