බෞද්ධ සවන් බිහිරි වූවා නම් හොඳයි සිතෙන වෙසක් මාසයක්
03 May 2026
බෞද්ධ සවන් බිහිරි වූවා නම් හොඳයි සිතෙන වෙසක් මාසයක්
03 May 2026
තිස්තුන් කෝටියක් ශීලය ආරක්ෂා කරන්න බැඳී ඉන්නා බව කියන භික්ෂූන් වහන්සේටත්, සම්මා සතියෙන් යුතුව ඉන්නට ඕනෑ යැයි කියන බෞද්ධයන්ටත් ගෙවුණේ තමන්ගේ කන් බිහිරි වූවා නම් හොඳයැයි සිතුණ සතියකි. කෙසේ හෝ වේවා ගිය සිකුරාදාට යෙදෙන්නට නියමිතව තිබුණ වෙසක් පෝය හඳ තල්ලු කරගෙන යනවා වාගේ මාසයේ අන්තිමට එළැඹෙන පොහොයට කල් දැමීමට ආණ්ඩුව තීරණය කිරීම එක පැත්තකින් බෞද්ධ චිත්ත සන්තානයේ සමාධියට හේතු වෙනවා ඇත. පොහොයක් ගෙවෙන විට මේ දිනවල බෞද්ධයන්ට ශ්‍රවණය කරන්නට ලැබෙන සංවේගජනක පුවත් අමතක වීමට කාලය සෑහෙන නිසාය. එහෙත් බුදු තෙමඟුල සමරන වෙසක් පොහොය මාසයේ අන්තිමට යොදා ගන්නට රජයට බලපෑම් කළේ සබරගමු පළාතට අධිගෘහිත එක් භික්ෂුවක් බව නියම වෙසක් පෝ දිනය විද්‍යානුකූලව ගණනය කළ ජ්‍යොතීර්වේදීන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සංදේශයක් මගින් ඔප්පු කළ වග සැලවේ.
බෞද්ධයාට කන් බිහිරිව තිබුණා නම් හොඳ යැයි සිතුණ ඊළඟ පුවත වන්නේ දැන් භික්ෂූන් මත්ද්‍රව්‍යය ප්‍රවාහනය කරන ජාලය සමග එක් වී මත්ද්‍රව්‍ය බෙදා හරින බව හැඟවෙන සංවේගදායක පුවතයි. භික්ෂූන් 22 නමක් කුෂ්, හෑෂ් රැගෙන එද්දී ගුවන්තොටේදී අල්ලා ගැනීම බුද්ධාගම මෙරට පිහිටු වූ පසු ඒ පාර්ශ්වයෙන් අසන්නට ලැබුණ දුක්මුසු පුවතය. තායිලන්තය නම් ථේරවාද රටේ සිට ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන වැඩම කළ භික්ෂූන් ත්‍රෛලෝක විජයපත්‍ර හෙවත් ගංජා පානය කර සිටි බව ඔප්පු කර ගත්තේ පාද යාත්‍රාවට ආ ආලෝකා බල්ලාගේ බලු ඉවෙන් නොව වෛද්‍ය පරීක්ෂණවලිනි. මොවුන් භික්ෂූන් නොව භික්ෂු ප්‍රතිරූපකයන් නොහොත් චීවරධාරීන් ලෙස හඳුන්වන්නැයි ශාසන මාමක මහ සඟුන් අපට දෙසා වදාරති. කුඩු බෙදීම, කොල්ලකෑම, ස්ත්‍රී දූෂණය කරන තුරු මහා සංඝරත්නයය එහෙත් මහ පවක යෙදී අසු වූ වහාම භික්ෂු ප්‍රතිරූපකයන් කියා ලියන්නට, කියන්නට, නිර්දේශ කරති. මේ මාරයාගේ බණය.
භික්ෂූන් අතරත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, සේම නිතර ඒවා පානය කරන උන් ද ඉන්නා බව දැන ගැනීමෙන් ධර්ම රුචික දායක දායිකාවන්ට මතු වූ පැනය වන්නේ තමන් අහන බණවලින් කෙතරම් ධර්මස්කන්ධයක් ඒ භික්ෂූන් සිහි විකලෙන්, දෙසූ ඒවාද යන්න තෝරා ගැනීමය. අයිස් පානය කර රිය පදවන බස් රියැදුරන් අල්ලා දඟගෙයි ලෑමට පොලිසියට ක්‍රම සහ විධි තිබේ. එහෙත් පිරිතට, දම් දෙසුමට වඩිනා භික්ෂූන් මතින් තොර යැයි සොයා ගන්නට තියෙන මග කවරේද? බුදුන් උපන්නේ ලංකාවේ යැයිද, රජගහ නුවර යනු රාජාංගණ යැයිද ඇතැම් භික්ෂූන් දෙසා වදාරන විට නම් ඒ බණ දෙසන්නේ අයිස් පාවිච්චි කරමින්ය යන විචිකිච්චාවක් ඇති කරගැනීම හැර වෙන මගක් බෞද්ධයාට නැත.
ලෝකය විපර්යාසයට ලක්වෙන විට ඒ විපර්යාස ධර්මතාවලින් භික්ෂූන් භාරගත යුත්තේ මොනවාද, හලා දමන්නේ මොනවාදැයි සියවස් ගණනාවක් තුළදීවත් සංගායනා කර නැත. පාවහන් භාවිතය බහුල වූ විට මොනර පිහාටුවෙන්, සත්ත්ව සමෙන් කළ පාවහන් භික්ෂූන්ට අකැප බව ශික්ෂා පදය පැනවූයේ කාලානුරූපවය. ඒ ඒ කාලවල ගිහියන්ගේ උපභෝග, පරිභෝගය සාදා සපයා ගන්නා දෑ භික්ෂූන් භාවිතයට ගත යුත්තේ කෙසේ දැයි ධර්මයට අනුව තෝරා බේරා ශික්ෂා පද පැනවීම ශාසනයේ ආයුෂයට හේතු විය. එහෙත් ගෙවෙන්නේ ගිහියන්ගේ උපභෝග පරිභෝග සියල්ල එහෙම පිටින්ම ශාසනයට වැද්ද ගන්නා යුගයය. ලොව තිබෙන නව නිපැයුම්වල අලුත්ම වර්ෂන් එක හෙවත් මාදිලිය මුලින්ම පන්සලට භාර ගන්නේ භික්ෂූවය. දැන් භික්ෂූන් ටික්ටොක් හි වැඩ වසති. යූ ටියුබ් චැනල් තනා මුදලට බණ දෙසති. මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනෙන්නට තායිලන්තයට වැඩම කළ භික්ෂූන් එකිනෙකා හඳුනා ගෙන තිබෙන්නේ පිරිතට, දානෙට වැඩම කිරීමේදී නොව වට්ස්ඇප් සමූහය හරහාය. දුරාතීතයේ මනුෂ්‍යයන්ගෙන් ඈත්වී ඈත වනාන්තරයේ බවුන් වඩන භික්ෂුව වුවත් ලුණු ඕනෑ වූ විට ගමකට වැඩීම සිරිතය. එහෙත් එබඳු වුවමනාවක්වත් දායක කාරකාදීන්ගෙන් සපයා නොගෙන පැවිදි දිවිය ගත කිරීමට වීර්ය වැඩීම වත්මන් සිරිතය.
ඒ නිසා සංඝයා දායක දායිකාවන්ගෙන් ඈත් වන්නේ හී ගසකට වඩා වේගයෙනි. දැන් භික්ෂුව පිඬු සිඟීමෙන්, සිඟාකෑමෙන් යැපිය යුතු යැයි කීවොත් අපහාසයට නඩු දා ගත හැකිය. සති මැද දවසක භික්ෂුවකට දහවල් දානෙට ආරාධනා කළොත් ඒ වඩින්නේ දිවා ආහාරය සඳහා රස්සාවෙන් ලැබෙන විවේකයට අනුවය.
කොළඹ පන්සලකට ගිහින් බල්ලාගේ සපා කෑමට ලක් නොවී ගේට්ටුව ඇර නායක හාමුදුරුවෝ සම්මුඛ වී එන්න යැයි කීම නොමළ ගෙයකින් අබ ඇටයක් ගෙනෙන්නැයි බුදුන් කිසා ගෝතමියට දුන් පරීක්ෂණයට සමාන පරීක්ෂාවකි.
ගනින්නාන්සේගෙන් ශාසනය බේරා ගන්නට අසරණ සරණ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ සියම් දේශයෙන් උපසම්පදාව ගෙන ආවේ සිල්වත් සමාගම නමින් සිල් රකින භික්ෂූන් පිරිසක් එකතු කරගෙන ශීලයෙහි පිහිට රජ්ජුරුවන් පහදවාගෙනය. අද සියම්, රාමඤ්ඤ, අමරපුර ආදී නිකායන් මතු නොව ඇතැම් නිකායන් දොළහකට පහළොවකට කැඩී පොල්කටු නිකායන්ද බිහිව තිබෙයි. මොන නමින් නිකායන් පිහිටුවූවත්, සිල්වත් නිකායක් පිහිටු වන බවට ආරංචියක් නැත.
මේ පරිහානියෙන් මුදා, පටිසෝතගාමී මගකට ශාසනය යොමු කළ හැක්කේ නාහිමිවරුන්ගේ අනුකම්පාවෙනි. එහෙත් සිදුහත් කුමරුන් ගිහිගෙය හැරපියා යන විට කන්ථක අශ්වයාගේ හද පැළී මළා වගේ වේදනාවක් දරා ගන්නට මේ වෙසක් සමයේ බෞද්ධයාත්, භික්ෂුවත් දැන් සිටම සූදානම් වන බව පෙනේ. ඒ අතීත බෞද්ධයාගේ ශ්‍රේෂ්ඨ මූලස්ථානයේ නායක හිමියන් පටලැවුණ මාගම් සෝලියක් හෙවත් බාල ලියක් අපහරණය කළ පුවතය. එය සැබෑ නම් ඒ පාප කර්මය ඇසෙනවාට වඩා බෞද්ධයාගේ දෙසවන් බිහිරි වනු හොඳ යැයි දැනෙනු ඇත. බුදු දහමටත්,ශාසනයටත් නිරාගමිකයන්ගෙන් මහත් හානි සිදුවන බව බෞද්ධයෝ සිතති. බෞද්ධයන් සිතන්නට පෙලෙඹෙන්නේ මාරයා ඇවිත් ඔවුන්ගේ දෑස් වසන බැවිනි. එහෙත් බුදු සමයත්, ශාසනයත් බේරා ගන්නට සිදුව තිබෙන්නේ නිරාගමිකයන්ගෙන් නොව ඇතැම් භික්ෂූන්ගෙනුත්, බෞද්ධයන්ගෙනුත්ය.

