ගිං ගඟ පිටාර ගැලීමෙන් මාපලගම පහත්බිම් රැසක් ජලයෙන් යටවේ
21 September 2026 | මහේෂ් ද සිල්වා-බද්දේගම
ගිං ගඟ පිටාර ගැලීමෙන් මාපලගම පහත්බිම් රැසක් ජලයෙන් යටවේ
21 September 2026 | මහේෂ් ද සිල්වා-බද්දේගම
දිවයිනට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මාපලගම ප්‍රදේශයේ පහත්බිම් රැසක් අද (21) උදෑසන වන විට ජලයෙන් යට වී තිබේ.
වාර්තා වන අන්දමට මාපලගම, ගෝනලගොඩ, ගම්මැද්දේගොඩ, නාගොඩ සහ කුරුපනාව යන ප්‍රදේශවල පහත්බිම් මෙසේ ගංවතුර තත්ත්වයට ගොදුරු වී ඇත.
මාපලගම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය මෙලෙස වර්ධනය වීම හේතුවෙන් මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබේ.
ඒ අනුව මාපලගම - පිටිගල ප්‍රධාන මාර්ගය කන්තෝරුව වත්ත ප්‍රදේශයෙන් සහ මාපලගම - පනංගල මාර්ගය තන්තිරිදිගන ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිට ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තු දත්තවලට අනුව ගිංඟඟේ ඉහළ පෝෂිත ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ගලා එන ජල කඳ පහළට පැමිණීමත් සමඟ අද උදෑසන වන විට බද්දෙගම ජල මාපකයේ අගය මීටර් 3.90ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ (20) පෙරවරුවේ මෙහි ජල මට්ටම සටහන්ව තිබුණේ මීටර් 2.70ක් ලෙසය.
ගඟ දෙපස සහ පහත්බිම්වල වසන ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සූදානමින් සිටින ලෙසත් ආපදා කළමනාකරණ අංශ දැනුම් දෙයි.

