සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට
04 November 2026
සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට
04 November 2026
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද (4) ආරම්භ විය.
ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.
මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පාර්ශ්ව කිහිපයක් පෙත්සම් 26ක් ගොනු කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඒවා විභාග කිරීම මෙහිදී සිදුවිය.
පෙත්සම්කාර මාලින්ද සෙනවිරත්න මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
"ස්වාමීනි, මේ පනත් කෙටුම්පත තුළ "බරපතළ අපරාධ" කියන කාරණය නිර්වචනය කරතිබෙන ආකාරය ඉතාම භයානකයි. බුද්ධිමය දේපොළ පනත යටතේ සඳහන් වැරදි පවා බරපතළ අපරාධ ලෙස අර්ථ කථනය කර තිබෙනවා. වෙළෙඳ ලකුණු සම්බන්ධයෙන් වූ වැරදි, සුරාබදු වැරදි, වන සත්ත්ව හා වෘක්ෂලතා පනත යටතේ සඳහන් වැරදිත් මේ පනත යටතේ බරපතළ අපරාධ ලෙස නිර්වචනය කර තිබෙනවා.
ස්වාමීනි මේක විහිළුවක්. මෙවැනි ක්‍රියා නිසා අපේ රට ලෝකයා ඉදිරියේ විහිළුවක් බවට පත්වෙනවා. මේක අතිශය භයානක තත්ත්වයක්. යෝජිත පනත් කෙටුම්පත යටතේ කිසියම් පුද්ගලයෙකු බරපතළ අපරාධයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විට ඔහු රඳවාගැනීම සඳහා පොලිස්පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පති ඉල්ල්මීමක් කළවිට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක ලේකම්වරයා වෙත ලබාදී තිබෙනවා.
එවැනි රැදවුම් නියෝගයක් නිකුත් කළ විට මාස දෙකක කාලයක සිට වසරක කාලයක් රදවා ගැනීම සඳහා පොලීසියට අවසර ලැබෙනවා. මේ ආකාරයට රැදවුම් නියෝගයක් නිකුත් කළ පසු මහෙස්ත්‍රාත්වරයාට එම රැඳවුම් නියෝගයට අනුකූලව කටයුතු කිරීමට සිදුවෙනවා.
මහෙස්ත්‍රාත්වරයා සතු අභිමතය ක්‍රියාත්මක කරන්න බැහැ. එම අභිමතානුසාරී බලය මහෙස්ත්‍රාත්වරයා ගෙන් ඉවත්කර තිබෙනවා. ඒ නිසා මේ පනත් කෙටුම්පත යටතේ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් විට අලුත්කඩේට අරන් යන්න අවශ්‍ය වන්නේ නැහැ. ආරක්ෂක ඇමතිගේ හෝ පොලිස්පතිවරයාගේ කාර්යාලයට තමයි අරන් යන්න සිදුවෙන්නේ" යනුවෙන් පැවසීය.
ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
"ස්වාමීනි, මේ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් අධිකරණය ඉක්මවා ගිය බලයක් පොලිසිය වෙත ලබාදීමට යෝජනාකර තිබෙනවා. එය ඉතා අනතුරුදායකයි. මේ හරහා එම බලය වැරදි ලෙස අවභාවිතා කිරීමට අවස්ථාව හැදෙන්න පුළුවන්.
නිදසුනක් ලෙස මෙම පනත් කෙටුම්පතේ 14 වැනි වගන්තිය යටතේ යම් බරපතළ අපරාධයකින් වින්දිතයෙකු බවට පත්වන පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හෙළිදරව් කිරීම වරදක් ලෙස දක්වා තිබෙනවා.
එවැනි නාමයක් මුද්‍රණය කිරීම හෝ ප්‍රසිද්ධියට පත් කිරීම වරදක් ලෙස සදහන් කර තිබෙනවා. 14(3) වගන්තිය යටතේ බරපතළ අපරාධයකට අදාළව විභාගවන නඩුවක යම් කරුණක් එම අධිකරණයේ අවසරයකින් තොරව මුද්‍රණය කිරීම හෝ ප්‍රසිද්ධියට පත් කිරීම වරදක් ලෙස දක්වා තිබෙනවා.
මෙම ප්රතිපාදනය නිසා අධිකරණ ප්රවෘත්ති වාර්තාකරණ කටයුතු පවා සිදු කිරීමට නොහැකි තත්වයක් ඇතිවෙනවා.
එපමණක් නොව මෙම පනත් කෙටුම්පත යටතේ සිදුකරන විමර්ශන අධීක්ෂණය කිරීම සඳහා ප්‍රතිපාදන සලසා නැහැ. අධිකරණය අධීක්ෂණය ඉවත්කර තිබෙනවා".
ඒ අනුව මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ඒ අනුව එය ජනමත විචාරණයකින් අනුමත වියයුතු බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසීය.
තවත් පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
"සිංගප්පූරුවේත් මෙවැනි නීතියක් ක්‍රියාත්මක වෙනවා. එහි රැදවුම් නියෝග පිළිබඳව කිසිවක් සඳහන් වන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සම්මුතියේ උපදෙස් අනුව නෙවෙයි මෙම පනත් කෙටුම්පත සකස් වෙලා තිබෙන්නේ.
එහෙන් මෙහෙන් අහුලා ගත් කෑලි එකතු කරගෙන තමයි මේක සකස් කර තිබෙන්නේ. මෙම පනත් කෙටුම්පත තුළින් අධිකරණයේ මැදිහත් වීමකින් තොරව පුද්ගල නිදහස සීමා කිරීමට විධායකයට අවකාශ සලසා තිබෙනවා" යනුවෙන් පැවසීය.
ඉන් අනතුරුව තවත් පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
"ස්වාමීනි, මෙම පනත් කෙටුම්පතේ 10 වගන්තිය තුළ "සහභාගීත්වය" පිළිබඳව සඳහන් කර තිබෙනවා. නිදසුනක් ලෙස කිසියම් අපරාධ කණ්ඩායමක් ශ්‍රමදානයක් හෝ දන්සැලක් පවත්වණු ලබනවා. එම ක්‍රියාව තුළ කිසිදු ආකාරයක අපරාධයක් සිදුවන්නේ නැහැ.
නමුත් මෙම පනත් කෙටුම්පත යටතේ එම ක්‍රියාව වරදක් ලෙස දක්වා තිබෙනවා. අදාළ පනත් කෙටුම්පතේ 19(4 ) වගන්තිය අනුව මෙම පනත් කෙටුම්පත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග නිකුත් නොකරන අවස්ථාවක එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ විට මහෙස්ත්‍රාත් වරයාට එම පුද්ගලයා රිමාන්ඩ් භාරයට පත්කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ.
අධිකරණය මනස ක්රියාවේ යොදවා තීරණ ගැනීමට මහෙස්ත්‍රාත් වරයාට අවකාශ සැලසෙන්නේ නැහැ. මහෙස්ත්‍රාත්වරයා හුදෙක් රබර් මුදාවක් බවට පත්කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත යටතේ අත්අඩංගුවට ගනුලබන පුද්ගලයෙකු පැය 72ක් පොලීසිය භාරයේ රඳවාගැනීමට අවසර ලබාදී තිබෙනවා. එම කාලසීමාව තුළ අදාළ පුද්ගලයා අධිකරණයේ අධීක්ෂණයට නතු වන්නේ නැහැ. එය භයානක තත්ත්වයක්.
අදාළ පනත් කෙටුම්පතේ යටතේ සැකකරුවන්ට ඇප ප්රදානය කිරීමේ බලය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත්කර තිබෙනවා. එම බලය මහාධිකරණය වෙත ලබාදී තිබෙනවා. මුල් අවස්ථා අධිකරණයට එම බලය හිමි නොවීම ගැටලු සහගත තත්වයක් " යනුවෙන් කියා සිටියා.
පෙත්සම් විභාග තවදුරටත් සිදුකෙරේ.

