SDB දෙවැනි කාර්තුවේත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි
15 September 2025
SDB දෙවැනි කාර්තුවේත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි
15 September 2025
SDB බැංකුව යනු මූල්‍ය අන්තර්කරණය, සාමූහික වටිනාකම් සහ ඩිජිටල් නවෝත්පාදනයන්ට මුල් තැන දෙන, සුවිශේෂී අරමුණක් මූලික කරගත් සංවර්ධන බැංකුවකි. ප්‍රජාව සහ සමුපකාර බැංකුකරණ මූලධර්ම මත පදනම් වූ SDB බැංකුව, විශේෂයෙන්ම ව්‍යවසායිකාවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ග්‍රාමීය ජනතාව නගාසිටුවීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතරම ඩිජිටල් නාලිකා සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් ඔස්සේ සිය ගනුදෙනුකාර පදනම පුළුල් කරගනිමින් සිටී. තිරසාරත්වය, යහපත් සමාජ බලපෑම සහ අන්තර්කරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන SDB බැංකුව මේ වන විට ශ්‍රී ලංකාවේ වඩාත්ම ඉදිරිගාමී මූල්‍ය ආයතනයක් ලෙස සුවිශාල පිළිගැනීමක් හිමිකර ගැනීමට සමත් වී ඇත.
පුළුල් සාර්ව ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද SDB බැංකුව එම අභියෝග සාර්ථක ලෙස ජයගනිමින් 2025 පළමු අර්ධයේදී රුපියල් මිලියන 156 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් විය. බැංකුවේ ශුද්ධ ගාස්තු ආදායම පසුගිය වසරට සාපේක්ෂව 32% කින් ඉහළ ගොස් ඇත. 2025 ජුනි මාසයේදී බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය 5.64% දක්වා ඉහළ ගිය අතර, ආයෝජන සහ මූල්‍ය පහසුකම් පිරිවැය සාර්ථක ලෙස කළමනාකරණය කරගැනීම මීට ප්‍රධාන වශයෙන් හේතු විය. සැලකිය යුතු මට්ටමේ ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා තත්වයක් පවත්වා ගනිමින්, කාර්තුව අවසන් වන විට 15.26% ක මුළු ප්‍රාග්ධන අනුපාතයක් සහ 281.52% ක ද්‍රවශීලතා ආවරණ අනුපාතයක් වාර්තා කිරීමට SDB බැංකුව සමත් විය.
මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය ඔස්සේ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර තිබිණි. 2025 දෙවන කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5% ක් ලෙස තක්සේරු කරන ලද අතර, ජුනි මාසයේදී වාර්ෂික මතුපිට අවධමනය (Annual Headline Deflation) -0.6% ක් ලෙස සටහන් වී, විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6 දක්වා ඉහළ ගියේය. මෙම සාර්ව ආර්ථික වර්ධනයන් මෙන්ම අඛණ්ඩව සිදුවෙමින් පවතින මූල්‍ය ප්‍රතිසංස්කරණ බැංකුවේ මෙහෙයුම් සාර්ථක වීම සඳහා මහෝපකාරී වූ අතර, ඒ ඔස්සේ ණය දීමේ අවස්ථා සහ ඩිජිටල් තාක්ෂණ භාවිතය මෙන්ම ආයෝජක විශ්වාසයද අඛණ්ඩව වැඩිදියුණු විය.
කාර්ය මණ්ඩල පිරිවැය ඉහළ යාම හේතුවෙන් පොදු කාර්ය පිරිවැය පෙර වසරට සාපේක්ෂව 6% කින් ඉහළ ගියද, එය හානිකරන වියදම් (Impairment charges) අවම කරගැනීම මගින් පියවා ගන්නා ලදි. ණය නැවත අයකර ගැනීම සඳහා ගන්නා ලද සාර්ථක උත්සාහයන් හේතුවෙන් හානිකරන වියදම් 2024 දෙවන කාර්තුවට සාපේක්ෂව 18% කින් අඩු වී ඇත. අදියර 3 ණය සඳහා හානිකරන වියදම් ආවරණ අනුපාතය (impairment coverage ratio for Stage 3 loans) 2024 වසර අවසානයේදී වාර්තා වූ 47.78% සිට 2025 දෙවන කාර්තුවේදී 49.84% දක්වා වැඩිදියුණු වූ අතර, විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
ශේෂ පත්‍රය සම්බන්ධයෙන් ගත් විට, 2024 දෙසැම්බර් මාසයේ සිට ගනුදෙනුකරුවන්ට වෙත ලබා දුන් ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 3.9 කින් ඉහළ ගොස් ඇත. කෙටිකාලීන ණය ආපසු ගෙවීම සහ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් පළමු අර්ධයේදී සමස්ත වත්කම් වටිනාකම 1% කින් පහළ ගියේය. මෙය බැංකුවේ අරමුදල් ව්‍යුහය ප්‍රශස්ත කිරීම, ඉහළ පිරිවැයක් සහිත ණය මත රඳා පැවතීමේ අවශ්‍යතාව අවම කිරීම සහ අඩු වියදම් ඉතුරුම් පදනම වර්ධනය කරගැනීම යනාදිය සම්බන්ධයෙන් බැංකුව දැනුවත්ව අනුගමනය කරන්නා වූ ක්‍රමෝපායට අනුකූල වේ.
මෙම මූල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් SDB බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මෙසේ පැවසීය: “අභියෝගාත්මක වෙළඳපොළකට අනුවර්තනය වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම අප දිගින් දිගටම සිදුකළා. SDB බැංකුවේ දෙවන කාර්තුවේ කාර්යසාධනය එහි මූලික ව්‍යාපාරික අංශවල ශක්තිය මැනැවින් පිළිබිඹු කරනවා. විචක්ෂණශීලී අවදානම් කළමනාකරණයක් සමග ඉලක්කගත වර්ධන ක්‍රමෝපායන් අනුගමනය කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව තුළ සැමට ප්‍රතිලාභ හිමි වන තිරසාර ආර්ථික ප්‍රගතියක් ඇතිකරමින්, අපගේ ගනුදෙනුකරුවන්ට සහ පාර්ශ්වකරුවන්ට ඉහළ වටිනාකම් තිළිණ කිරීම අපගේ අරමුණයි.”
ඉදිරියටත් වෙනස් වන වෙළඳපළ තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථාවරත්වය පවත්වා ගනිමින්, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට අනුව සැලසුම් කළ මූල්‍ය විසඳුම් පිරිනැමීම, බිම් මට්ටමේ ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම සහ සැමට ප්‍රතිලාභ හිමි වන ආර්ථික ප්‍රවර්ධනයක් වෙනුවෙන් කැප වීම SDB බැංකුවේ මූලික ඉලක්ක වී තිබේ.