brand logo
logo
නවක වදය නොමරන්නට කාටද ඕනෑ...

නවක වදය නොමරන්නට කාටද ඕනෑ...

11 July 2025

නවක වදය වැළැක්වීම පිළිබඳ මාර්ගෝපදේශන නොපමාව ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝගකර තිබේ. එසේම ඒ පිළිබඳ තදින් පියවර ගතයුතු බවද අවධාරණය කර ඇත. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහාය විශ්වවිද්‍යාලවලට ලබාදිය යුතු බව ආණ්ඩුවට සිහිපත්කර තිබේ. සබරගමු සරසවියේ දෙවැනි වසර සිසුවෙක් නවක වදය හේතුවෙන් සියදිවි හානිකර ගැනීම හේතුවෙන් ඒ පිළිබඳ රටේ යම් කතා බහක් ඇති විය. ඒ මේ රටේ හැටිය. ඕනෑම දෙයක් සිදු වූ විට හා හූ කියා යම් කතාබහක් ඇතිවෙති. බොහෝ අය හඬා වැලපෙති. මුහුණු පොතේ සමහරු වැලපෙති. ඉන්පසු සියල්ල අමතකය. අප දන්නා තරමට ලංකාවේ වැඩියෙන්ම කතාබහට ලක්වූ මාතෘකා අතර නවක වදයද එකකි. වචනයෙන්ම පැහැදිලි වන පරිදි එය වදයකි.


ඒ වදයට ලක් කරනුයේ සරසවිය නමැති උප සංස්කෘතියට අලුතෙන් පැමිණෙන සාමාජික සාමාජිකාවන්ය. යම් ශිෂ්ටසම්පන්න සමාජයකට අලුතෙන් පැමිණෙන සාමාජික සාමාජිකාවන් මෙතරම් වදයට, මරණයට ලක්කරන රටවල් ලෝකයේ තිබේ නම් ඒ ලංකාව පමණක් විය හැකිය. තවත් එබඳු රටවල් තිබේනම් ලංකාවට ඒ පිළිබඳ නවක වද කප් එක හිමිවනවාට සැකයක් නැත. නවක වදය හේතුවෙන් සැලකිය යුතු පිරිසක් මියගියහ. තවත් එයට වඩා පිරිසක් කායික වශයෙන් ආබාධිත වූහ. එමතුද නොව මානසික වශයෙන් ද ආබාධිත වූහ. මේවා ජීවිත නොවේද? මේවාට වගකිවයුත්තේ කවරහුද?


2017 වසරේදී පොලිසිය පේරාදෙණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් කුලී නිවසක පවත්වාගෙන ගිය නවක වධකාගාරයක් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට සමත් විය. පොලිසිය එම වධකාගාරය වට කිරීමෙන් අනතුරුව එකල රටේ ඒ පිළිබඳ ලොකු කතාබහක් ඇති විය. පිටතින් කුලී නිවසක් මිලටගෙන නවක සිසුවියන් වදයට පත්කිරීම සඳහා වධකාගාරයක් පවත්වාගෙන යාම පිළිබඳ ඉතාම අපකීර්තිමත් අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට තිබේ. සැබවින්ම එය ලජ්ජාවට නින්දාවට හේතුවන කරුණක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ඒ නම් මොනතරම් ම්ලේච්ඡත්වයක්ද? සරසවි සිසුන්ට එවැනි කුලී නිවසක වධකාගාරයක් පවත්වාගෙන යාමට මුදල් ලැබුණේ කෙසේද? ජනතා විමුක්ති පෙරමුණට අයත් ශිෂ්‍ය සංගම් කැට ව්‍යාපාර නම් ක්‍රියාත්මක කරයි. ඒ මුදල් උපයා ගැනීමටය. වධකාගාරය පවත්වාගෙන ගියේ මහජනයා රවටා කැටවලට එකතු කළ මුදලින් දැයි විමසිය යුතුය. මෙවැනි බාහිර වධකාගාර හැම සරසවියකටම නොමැති වුවද බොහෝ සරසවිවල නේවාසිකාගාර අභ්‍යන්තර වධකාගාර සේ ක්‍රියාත්මක වෙයි. කවුරු පිළිගැනීමට කැමැති වුවත් අකැමැති වුවත් මේ රටේ විශ්වවිද්‍යාලවල නවක වදය දිගින් දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ එම පෙරමුණෙන් පසුව කැඩී වෙන් වුණු කණ්ඩායමක් ගොඩනැගූ පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ ශිෂ්‍ය සම්ගම් වගකිව යුතුය.


අප දන්නා කියන ඉතිහාසයේ නවක වදය පිළිබඳ ඇත්ත කතා කළේ එසේම ඒ පිළිබඳ තදින් ක්‍රියාමාර්ග ගනු ලැබුවේ සරසවි උප කුලපතිවරුන් කිහිපදෙනකු විසිනි. මෑත කාලයේ ඒ පිළිබඳ ගෞරවය හිමි විය යුත්තේ රුහුණු සරසවියේ හිටපු උප කුලපතිවරයාටය. 2017 වසරේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ උප කුලපති වූයේ මහාචාර්ය මොහොමඩ් නජීම්ය. පේරාදෙණිය සරසවියෙහි වධකාගාරය පිළිබඳ තොරතුරු රටට හෙළි වූ අවස්ථාවේ ඔහු ඉතා වැදගත් කරුණු කිහිපයක් පැවසීය. ඔහු අවධාරණය කළේ නවක වදය මේ රටේ සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් බවය. එම ශිෂ්‍ය ව්‍යාපාරවලට සහ ඒවා නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අලුතින් සාමාජික සාමාජිකාවන් එකතු කරගැනීම සඳහා නවක වදය උපක්‍රමයක් සේ ක්‍රියාත්මක කරන බව මහාචාර්ය මොහොමඩ් නජීම් පෙන්වා දුන්නේය. සරසවි නවක වදය පිළිබඳ ඇත්ත කතාව එය ය. ඊට වඩා ඇත්තක් වෙන නොමැත. අපද අවධාරණය කරනුයේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය සද්භාවයෙන් පියවර ගන්නේ නම් ඔවුන්ට නවක වදය වහා නතර කළ හැකි බවය. මහාචාර්ය මොහොමඩ් නජීම් සඳහන් කර තිබුණේ නීතියෙන් පමණක් නවක වදය නතර කළ නොහැකි බවය.


අලුත් සාමාජිකයන් සරසවි සමාජයට හුරුකර ගැනීම සඳහා නවක වදය ක්‍රියාත්මක කරන බවට සරසවි ශිෂ්‍ය සංගම් ප්‍රචාරය කරන ප්‍රලාපයට එරෙහිව සරසවි සිසුවියන් දැනුවත් කළ යුතු බවද ඔහු පෙන්වා දී තිබිණි. එපමණක් නොව ඔහු අවධාරණය කර තිබුණු තවත් වැදගත් කරුණක් නම් නවක වදයට එරෙහිව සරසවි තුළින්ම ශිෂ්‍යයන් එක මුතුව නැගිටිය යුතු බවය. එවැනි පියවරයන් නොගෙන නවක වදය නතර කළ නොහැකි බව ඔහුගේ අදහසය. නවක වදයට එකඟ නොවන සිසුන් අලයන්, ලෙසත් එවැනි ශිෂ්‍ය කණ්ඩායම් අල කණ්ඩායම් වශයෙනුත් හඳුන්වමින් ඔවුන්ට එරෙහිව ශිෂ්‍ය සංගම් විශාල මනෝ මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි. නවක වදය නීතිවිරෝධී බව නවක වද පනත අනුව ඕනෑම කෙනකුට තේරුම් ගත හැකියි. එහෙත් එවැනි නීති විරෝධී වැඩපිළිවෙළක් පරාජය කිරීමට මේ දක්වා කිසිදු ආණ්ඩුවක් සමත් වී නැත. අපට පෙනෙන පරිදි නවක වදය නතර කිරීමේ සම්පූර්ණ හැකියාව වර්තමාන ආණ්ඩුවට තිබේ. නවක වද පනත සහ මාර්ගෝපදේශන අනුව එහිලා ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව උපරිම සහයෝගය ලබාදිය යුතු ය. ලංකාවට ළඟදී පැමිණ ගිය මානව හිමිකම් කොමසාරිස් සමලිංගික පනත් කෙටුම් පතක් ගැන කතා කළද නවක වදය පිළිබඳ කතා නොකිරීම කනගාටුවට කරුණකි.

 

More News..