brand logo
logo
හංසමාලිට හා තාබුගල‌ට  එරෙහි පැමිණිලි බහා තබන්න නියෝග

හංසමාලිට හා තාබුගල‌ට එරෙහි පැමිණිලි බහා තබන්න නියෝග

01 May 2026 | ඉෂාර රත්නකාර

රුපියල් ලක්ෂ 4190ක ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇතැයි කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි හා විරංජිත් තාබුගල නමැති වගඋත්තරකරුවන්ට එරෙහි පැමිණිලි නීතිපති උපදෙස් ලැබෙන තෙක් බහා තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි නියෝග කළේය.


පියුමි හංසමාලි සහ විරංජිත් තාබුගල නමැති වගඋත්තරකරුවන්ට අදාළ පැමිණිලි දෙකෙහි විමර්ශන අවසන් කර ඒවායේ උධෘත ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවට දේශීය ආදායම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.


වගඋත්තරකාර පියුමි හංසමාලි රුපියල් ලක්ෂ 2250ක බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් සහ වගඋත්තරකාර විරංජිත් තාඹුගල රුපියල් ලක්ෂ 1940ක බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් අදාළ පැමිණිලි දෙක කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.


දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා කරුණු ඉදිරිපත් කරමින් අදාළ පැමිණිලි පිළිබඳව විමර්ශන අවසන් කර උධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇතත්, නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි දන්වා සිටියේය.


අදාළ පැමිණිලි පිළිබඳව නීතිපති උපදෙස් ලැබෙන තෙක් ඒවා බහා තබන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

More News..