උපත් පාලන පෙති හිඟය උග්‍ර වෙලා
23 September 2026 | ශිරාන් රණසිංහ
උපත් පාලන පෙති හිඟය උග්‍ර වෙලා
23 September 2026 | ශිරාන් රණසිංහ
උපත් පාලනය සඳහා භාවිතයට ගන්නා පෙතිවල හිඟය උග්‍ර අතට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් උපත් පාලන පෙති සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇත. අදාළ මිල ගණන්වලට ඖෂධ ආනයනය කිරීමට නොහැකි බවට අදාළ සැපයුම්කරු දැනුම් දී ඇති අතර එම ඇණවුම් නොලැබී යාමෙන් මෙම හිඟය මතුව ඇත.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයෙන් ‘අරුණ’ කළ විමසීමේදී එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ මිල සම්බන්ධව ඇතිවූ ගැටලුවක් හේතුවෙන් මෙම හිඟය ඇතිවූ බවයි. කෙසේ වෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව බංග්ලාදේශයෙන් මෙම පෙති වර්ග ආනයනයට අවසර ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත ‘මිතුරි’ උපත් පාලන පෙති ඇතුළු අනෙකුත් ආදේශක ඖෂධ ගෙන ඒමට නියමිත බව එම නිලධාරියා කියා සිටියේය.
රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශයේ ආයතන මගින් බෙදාහරිනු ලබන උපත් පාලන පෙති හිඟවීම හේතුවෙන් මෙරට කාන්තාවන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

