brand logo
logo
අපභ්‍රංශ ආප්ප සූත්‍රය

අපභ්‍රංශ ආප්ප සූත්‍රය

30 September 2024

මෙරට මිනිසුන්ට කවදාක හෝ තේරුම් ගත නොහැකි වූ සූත්‍ර දෙකක් විය. එකක් නම් ඉන්ධන සම්බන්ධයෙන් යෙදුණු මිල සූත්‍රයයි. අනෙක නම් ක්‍රිකට් තරගවලදී යෙදෙන ‘ඩක්වර්ත් සහ ලුවිස්’ න්‍යායෙන් සැදුණු සූත්‍රයයි. මේ අපභ්‍රංශ සූත්‍ර අතරට අලුතින්ම එක්ව ඇත්තේ ‘බිත්තර ආප්පයේ’ මිල සූත්‍රයයි.


‘ප්ලේන් ආප්ප’ හෙවත් බිත්තර නොයෙදූ ආප්පයේ මිල රුපියල් 30කි. බිත්තරයක වර්තමාන මිල රුපියල් 30කි. නමුත් ඒ රුපියල් 30 ක් වටිනා බිත්තරය, රුපියල් 30කට මිල කළ ප්ලේන් ආප්පය මතට දැමූ විට සෑදෙන බිත්තර ආප්පය රුපියල් 100කි. ප්ලේන් ආප්පයක් දැමීමට අවශ්‍ය පාන්පිටි ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය, ආප්ප බාස්ගේ පඩිය, ගෑස් සඳහා මිල ආදිය මේ කියන්නා වූ ආප්ප වර්ග දෙකටම නියතයකි. වෙනසකට වන්නේ බිත්තර ආප්පයට දමන බිත්තරය හෝ ඒ මතට ඉසින ගම්මිරිස් කුඩු ස්වල්පය පමණි. නමුත් ඒ කියන්නා අතිරේක ද්‍රව්‍ය වෙනුවෙන් රුපියල් 70ක මිලක් බිත්තර ආප්පයට එකතු වී තිබේ. මෙයින් බිත්තරයේ මිල අඩුකළ විට ඒ මතට ඉසින ගම්මිරිස් කුඩුවල මිල රුපියල් 40ක් වන සෙයකි. ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 2000ක් යැයි සිතමු. ඒ අනුව ගම්මිරිස් ග්‍රෑමයක මිල රුපියල් 2කි. එසේනම් බිත්තර ආප්පයක් සඳහා ගම්මිරිස් ග්‍රෑම් 20ක් යොදන්නේද? ගම්මිරිස් ග්‍රෑම් 20ක් එක බිත්තර ආප්පයකට යෙදුවහොත් එය තවදුරටත් බිත්තර ආප්ප නොවී ‘ගම්මිරිස් ආප්ප’ බවට පත්වනවා ඇත.


මේ කියන්නා වූ බිත්තර ආප්පයේ මිල සූත්‍රය පමණක් නොව, අද වන විට මෙරට බිත්තර යොදමින් නිපදවන කෙටි කෑම මෙන්ම කේක් මිල සම්බන්ධයෙන් සූත්‍රයද එසේය. කේක් සෑදීමේදී ස්වභාවික බිත්තර වෙනුවට බිත්තර රසකාරයක් යෙදීමට බොහෝ නිෂ්පාදකයන් පෙළැඹෙන බවක්ද කියැවේ. නමුත් බිත්තර මිල ඉහළ යෑමේදී එලෙස අදාළ රසකාරකය යොදා හදන කේක් ද ස්වභාවික බිත්තර යොදා හදන කේක් ලෙසින් මිල ඉහළ යන අතර බිත්තර මිල අඩුවීමේදී පමණක් ඒවා බිත්තරයෙන් ‘විනිර්මුක්ත’ය.


බිත්තර පමණක් නොව, පාන්පිටි, ගෑස්, සීනි, විදුලිය, ඉන්ධන ආදී ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් සෘජු සහ වක්‍ර වියදම් සියල්ල පෙර පැවැති මිල ගණන්වලට සාපේක්ෂව අඩුවී ඇති නමුත් ‘උඩගිය’ ආහාර මිල තවම ඒ මිල අඩුවීම්වලට සාපේක්ෂව පහළට පැමිණ නැත.


මෙයින් කියැවෙන කාරණා දෙකකි. එකක් නම්, මෙරට ආහාර නිෂ්පාදන කර්මාන්තය යනු ආණ්ඩුවක කිසිදු පාලනයකට යටත් නොවෙන ‘මුදා නොගත් නිෂ්පාදන කලාපයක්’ බවය. අනෙක් කරුණ නම් ව්‍යාපාරික පරිමාණය අනුව ලොකු කුඩා භේදයකින් තොරව මෙරට මුදලාලි පැලැන්තියේ ඇති ‘වංචාකාරී’ මානසිකත්වය ය.

මෙරට පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ රටේ පාලකයන් මැදිහත්ව ක්‍රියා කළ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිවෙන්නේය. එවක විසූ හතරවැනි උදය රජතුමා විසින් ඒ සම්බන්ධයෙන් ලබාදුන් ලිඛිත නියෝගය බදුලු ටැම් ලිපියේ සඳහන් වන්නේය. ඒ අනුව බදුලු ටැම් ලිපිය පිහිටුවීමෙන් වසර දහසකට වැඩි කාලයක් ගෙවී ගොස් මේ වන විට 2003 අංක 9 දරන පාරිභෝගික පිළිබඳ කටයුතු පිළිබඳ අධිකාරිය පනත දක්වා එය විකාශය වී ඇත්තේ වුවද මුදලාලිලාගේ අත්තනෝමතික මිල නියම කිරීමේ ත්‍රස්තවාදය ඉදිරියේ මේ පනත් යනු දත් නැති සිංහයෙකි. නැතහොත් මේ පනත් ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය යාන්ත්‍රණය විසින් පිහිටුවා ඇති පාරිභෝගික අධිකාරිය වැනි ආයතනවල බලධාරීන් නපුංසක ලීලාවෙන් හැසිරෙන අයුරකි. රටේ හැදෙන බිත්තර ආප්පයකින් මුදලාලි රුපියල් තිස්පහක පමණ ලාභයක් ලබද්දී පඹයෙක් මෙන් ඒ දෙස බලාසිටීමට පාරිභෝගික අධිකාරියක් කුමටද? මුදලාලිලා කැමති කැමති ලෙස ආහාර මිල නියම කිරීමේදී ‘අපි කොහොම ඒවා පාලනය කරන්නද’ ආදී නපුංසක උත්තර ලබාදීමට නම් රටකට පාරිභෝගික අධිකාරියක් හෝ මිල පාලන දෙපාර්තමේන්තුවක් කුමටද? එසේනම් මෙම රාජ්‍ය ආයතන විසින්, එකම රටක් තුළ මුදලාලිලාගේ වෙනම රාජ්‍යයක් බිහිකිරීමට අනියමින් උපකාර සලසා දී ඇත්තේ නොවේද?


අනෙක් කාරණය මේ මුදලාලිලාගේ ‘වංචාකාරී’ මානසිකත්වයි. සිය නිෂ්පාදන සඳහා වන අමුද්‍රව්‍ය සහ සේවාවල මිල ඉහළ යෑමේදී එක රැයින් තම මිල ඉහළ නැංවීමට කටයුතු කරන නමුත්, එම අමුද්‍රව්‍ය සහ සේවා මිල අඩුවීමේදී පෝය දොළහක් ගෙවී ගියත් ඒ බැව් නොදුටු දෑස්ව, නෑසූ කන්ව සිටීම යනු ‘අධික ලාභ ලැබීමක්’ ලෙසින් හඳුන්වනවාට වඩා පාරිභෝගිකයා විෂයෙහි සිදුකරනු ලබන බරපතළ වංචාවක් ලෙසින් හැඳින්වීම නිවැරදිය. ගැටලුව නම් මේ ආකාරයෙන් ආප්පයේ සිට වංචා කරන මිනිසුන්ම රටේ නායක කාරකාදීන්ගේ වංචා ගැන දෙස් දෙවොල් තැබීමය. මෙයින් අපට පෙනී යනුයේ වංචාව දේශපාලකයාට හෝ ආයතන ප්‍රධානීන් විසින් පමණක් සිදුකරනු ලබන දෙයක් නොව එය මේ රටේ ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂ සිදුවන පොදු සිදුවීමක් බවය. දේශපාලකයන් හෝ ආයතන ප්‍රධානීන් ඔවුන්ගේ පරිමාණයෙන් වංචාවේ යෙදෙන විට ගමේ ආප්ප කඩේ මුදලාලි ඔහුගේ මට්ටමින් වංචාවේ යෙදෙන්නේය. නමුත් ආප්ප කඩේ මුදලාලි රුපියල් තිස්පහක ශුද්ධ ලාභයක් ලැබීම පිණිස ආප්පයට බිත්තර කඩා දමන්නේ, බිත්තර ආප්පය මිලට ගැනීමට පැමිණි පුද්ගලයා සමග ‘මේ දේශපාළුවෝ වංචා කළේ නැතිනම් අද මේ රට කොහොම තැනක තිබෙයිද’ කියා අසනා ගමන්ය. සාධාරණත්වය, අවංකභාවය පිළිබඳ ආදර්ශය රට වැසියාගෙන් පාලකයා දක්වාත්, පාලකයාගෙන් රටවැසියා දක්වාත් ප්‍රත්‍යාවර්තව ගලා යා යුත්තේ නොවේද? බිත්තර ආප්පය යනු රටේ ප්‍රධාන ආහාරයක් නොවන බැවින් එය දැවෙන ප්‍රශ්නයක් නොවූවවත්, එයින් රුපියල් තිස්පහක ලාභයක් ලැබීමේ ආකල්පය දැවෙන ප්‍රශ්නයක් නොවන්නේද?

 

More News..