brand logo
logo
පොඩි පැටී ඝාතනයේ විස්තරය

පොඩි පැටී ඝාතනයේ විස්තරය

02 October 2026

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලොකු පැටී නැමැති අපරාධකරුගේ සහෝදරයා වන 'පොඩි පැටී' නමැත්තා නාඳුනන වෙඩික්කරුවකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.


මෙම ඝාතනය කොස්ගොඩ සුජී නැමැති අපරාධකරුගේ පාර්ශ්වය විසින් සිදුකර ඇති බව පොලිසිය සැක පළ කරයි.


අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රී 8.10ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබුණි.


වෙඩික්කරු පාගමනින් පැමිණ ප්‍රහාරය එල්ල කර, නැවත පාගමනින්ම පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.


වෙඩික්කරු පොඩි පැටීගේ හිසට වෙඩි තබා ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.


ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක පින්තාරු රැකියාවක නිරත පොඩි පැටී නැමැත්තා ඊයේ (02) එහි සිටින තවත් අයෙකු සමග පැමිණ සිය නිවසේදී මත්පැන් පානය කර ඇති බව වාර්තා වේ.


පසුව අනෙක් පුද්ගලයා පිටව ගොස් ඇති අතර, පොඩි පැටී නැමැත්තා තවත් බීර බෝතලයක් රැගෙන නිවසට පැමිණ තිබේ.


ඔහු නිවසට පැමිණ බිරිඳට කතාකරනවාත් සමගම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය පැවසීය.


ඒ සඳහා මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් උපයෝගී කරගෙන ඇති අතර, වෙඩික්කරු වෙඩි ප්‍රහාරයෙන් පසුව නිවස අසල වූ කැලෑබද ප්‍රදේශයකට පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

පොලිසිය එම ප්‍රදේශය ඊයේ රාත්‍රියේ සෝදිසි කළද කිසිඳු හෝඩුවාවක් හමුවී නොමැත.


සැකකරු විවාහක කාන්තාවක් හා ඇයගේ 7 හැවිරිදි දැරිය සමග නිවසේ වාසය කර තිබේ.

අදාළ කාන්තාව විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන මදුෂාන් ආබ්‍රේව් හෙවත් අහුංගල්ලේ මදුෂාන් නැමැත්තාගේ සහෝදරියක් බව පොලිසිය පැවසීය.

මධුෂාන් නැමැත්තා කලක් 'ලොකු පැටී'ගේ පාර්ශ්වය සමග සමීපව කටයුතු කර පසුව ඉන් ඉවත්වී, විදෙස්ගතව සැඟව සිටින තවත් අපරාධකරුවකු වන 'කොස්ගොඩ සුජී' නැමැත්තා සමග සබඳතා පවත්වා ඇත.

ඒ හේතුවෙන් අහුංගල්ලේ මදුෂාන්ගේ සහෝදරිය සමග සබඳතා පවත්වනවාට 'ලොකු පැටී' හා ඔහුගේ අනෙක් සහෝදරයා වන සංජීව පුෂ්පකුමාර හෙවත් 'අහුංගල්ලේ සංජීව' නැමැති සංවිධානාත්මක අපරාධකරුවන් විරෝධය පළකර ඇති බව පොලිසිය සඳහන් කළේය.


මේ අතර ඊයේ රාත්‍රියේ ඝාතනය වූ පොඩි පැටී නැමැත්තා පසුගිය අප්‍රේල් 16 වනදාද අහුංගල්ලේදී ටී-56 ගිනිඅවියකින් වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ දරා තිබූ අතර, ඔහු එහිදී දිවි බේරාගෙන තිබුණි.


එම ප්‍රහාරය මෙහෙයවා තිබුණේ කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයෙන් බව පොලිසිය පැවසීය.


එමෙන්ම ඔහුට කොස්ගොඩ සුජීගේ අනුගාමිකයෙකු වන ළහිරු දිල්ෂාන් මධුර කුමාර හෙවත් ලියනගමගේ ළහිරු නැමැත්තාගෙන් අවස්ථා කිහිපයකදී මරණ තර්ජන එල්ල වී ඇති බවද පැවසේ.


ඒ අනුව මෙම ඝාතනය බොහෝ දුරට කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයෙන් සිදුවන්නට ඇති බවට සැකකරන බව පොලිසිය සඳහන් කළේය.

ඝාතනය වූ පොඩි පැටී නැමැත්තාට එරෙහිව කිසිඳු අපරාධමය චෝදනාවක් නොමැති බවද පොලිසිය පැවසීය.


ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ බව කියන කළු නෝනා නම් කාන්තාව ඇතුළු තිදෙනෙකු පසුගියදා බද්දේගමදී ඝාතනය කළ අතර, එහි චෝදනාව එල්ල වුණේ කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වයටය.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් තුනක් මගින් සිදු කරනු ලබයි.

 

More News..