brand logo
logo
 දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ යළි සක්‍රීයවීමේ අවදානමක්

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ යළි සක්‍රීයවීමේ අවදානමක්

06 August 2026



පසුගිය දින කිහිපය තුළ පැවති වර්ෂාපතනය සමඟ දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ යළි සක්‍රීයවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.


එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, මේ වනවිට පස ජලයෙන් සංතෘප්තව ඇති බැවින් මෙම තත්ත්වය උදාවී ඇති බවය.


එනිසා කුඩා වර්ෂාවකදී වුවද නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවිය හැකි බැවින් ජනතාව ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද ඒ මහතා දැනුම්දෙයි. 


හෙට (07) සහ අනිද්දා (08) දිනයේ දී කාලගුණ පුරෝකථන අනුව වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බවද පැවසු ඒ මහතා, මේ දිනවල පවතින අධික තීව්‍රතාවයෙන් යුතු වර්ෂාපතනය සමඟ පස්කණ්ඩි, පස් කඳු සෝදායෑමේ සහ ගල් පෙරළීම් ඉතා අවදානම් තත්ත්වයක පවතින බවද පැවසීය.


මාර්ග භාවිතයේ දී එවැනි අවදානම් ස්ථාන පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවද පැවසු ඒ මහතා, ඇළ මාර්ග දෙපස සිටින ජනතාව ද වඩාත් කල්පනාකාරීව සිටිය යුතු බවත් ජල උල්පත් මතුවීමක් හෝ ලයිට් කණු ඇලවීමක් වැනි ලක්ෂණ දුටු වහාම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බවත් සඳහන් කළේය.


පසුගිය දින කිහිපය තුළ පැවති කාලගුණ තත්ත්වය හමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවීම් 15ක් සහ නුවරඑළියේ සිදුවීම් 4ක් ඇතුළත සමස්ත සිදුවීම් 21ක් වාර්තා වී ඇතැයි ද පැවසු වසන්ත සේනාධීර මහතා, නායයෑම් හේතුවෙන් මරණ 5ක් වාර්තා වූ බවද පැවසීය.


ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සතුව ස්වයංක්‍රීය වර්ෂාමාන 330කට ආසන්න සංඛ්‍යාවක් පවතින අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින පද්ධති හා වාරිමාර්ගය සතු පද්ධති සියල්ල පැය 24 පුරාම අධ්‍යයනය කරමින් සිටින බවත් අධික වාර්ෂාවක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේය. 


මෙවැනි තත්ත්වයක් තුළ අවට සිදුවන සිදුවීම් පිළිබඳව ජනතාව වඩාත් සැලකිලිමත්ව වන ලෙසත් ඉවත්වීමේ උපදෙස් මත අවශ්‍ය මොහොතේ දී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් ආපදා ස්ථානයෙන්ගෙන් ඉවත්වීමට කටයුතු කරන ලෙසත් වසන්ත සේනාධීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.


 

More News..