සයිබර් ප්‍රහාර ගැන තායිවානයෙන් පුළුල් පරීක්ෂණයක්
04 November 2026
සයිබර් ප්‍රහාර ගැන තායිවානයෙන් පුළුල් පරීක්ෂණයක්
04 November 2026
තායිවානයේ ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂයේ තායිපේ නගරාධිපති අපේක්ෂක Puma Shenගේ මැතිවරණ ප්රචාරක ඩිජිටල් ජාලය ඉලක්ක කරගනිමින් චීනයෙන් එල්ල වූයේ යැයි සැකකෙරෙන සයිබර් ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් තායිවාන ජාතික ආරක්ෂක කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එරට මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම සිදුවීමත් සමඟ තායිවානයේ ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමට බෙයිජිං පාලනය උත්සාහ කරන බවට නැවත වරක් දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
තායිවාන පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු සහ ජාතික ආරක්ෂක කමිටුව හමුවේ අදහස් දක්වමින් ජාතික ආරක්ෂක කාර්යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් සඳහන් කර ඇත්තේ, බුද්ධි අංශ එක්ව මෙම චීන මැදිහත්වීම පිළිබඳ පරීක්ෂණ පවත්වන බවය. නොවැම්බර් 28 වන දින පැවැත්වීමට නියමිත මැතිවරණය සාමකාමීව සහ සුරක්ෂිතව පැවැත්වීම සඳහා අමාත්‍යාංශය අවශ්‍ය සියලු පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මෙම පරීක්ෂණවලින් අනතුරුව අදාළ සිදුවීමට වගකිවයුතු පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නීතිමය පියවර ගැනීමට ඉඩ ඇති බවද එරට මාධ්‍ය සඳහන් කරයි.
Puma Shenගේ ප්රචාරක කාර්යාලය පෙන්වා දෙන්නේ තම අභ්‍යන්තර කාර්ය මණ්ඩල පද්ධති සහ ප්‍රසිද්ධ වෙබ් අඩවි ඇතුළු තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් පසුගිය සිකුරාදා සිට ක්රමානුකූල සහ දැවැන්ත සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල වූ බවය.
වෙබ් අඩවියේ ගොනු උඩුගත කිරීමේ පද්ධතියේ පැවැති දුර්වලතාවක් අනිසි ලෙස භාවිත කරමින් පද්ධතියට රහසිගතව ඇතුළු වීමට සහ පරිපාලන බලතල ලබාගැනීමට හැකර්වරුන් කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත්, අදාළ අභ්‍යන්තර පද්ධතිවල මුරපද හෝ දත්ත නොතිබූ බැවින් ප්‍රධාන අභ්‍යන්තර දත්ත පද්ධතියට හානි කිරීමට හැකර්වරුන් අසමත් වී ඇති බවත් පැවසෙයි.

