අපේ ජනාධිපතිතුමාට සියයට 75 ක් තාමත් කැමතියි!
18 July 2026 | සුන්දර නිහතමානි ද මැල්
අපේ ජනාධිපතිතුමාට සියයට 75 ක් තාමත් කැමතියි!
18 July 2026 | සුන්දර නිහතමානි ද මැල්
(ඉකුත් දෙසතියේම මම මානිගෙ තීරුවෙන් ආණ්ඩුවේ ගුණ ගී ගැයුවෙමි. දැන් එය මට පුරුද්දකට ගොස් ඇති බව මේ සතියේ තීරුව කියවන විට ඔබට තේරෙනවා ඇත.)
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් කරන ලද සමීක්ෂණයකින් පුදුමාකාර තොරතුරක් අනාවරණය කරගෙන තිබේ. ඒ අපේ ජනාධිපතිතුමා (ලොකු සහෝදරයා) තවමත් රටේ සියයට 75.5 ක් අතර ජනප්‍රිය බවයි. මා මේ බව කී විට ඒ ඇසූ සියලුදෙනාට හිනා ගියේය. (ඒ සමච්චලයට යැයි වරදවා නොසිතන්න) ඒ අපේ ලොකු සහෝදරයා ලෝක වාර්තාවක් පිහිටුවීමේ ප්‍රීතියටය. මේ ලෝකයේ කිසිම රටක, කවදාවත් ඡන්දය දිනා අවුරුදු එකහමාරකට පසුවත් මෙබඳු ජනප්‍රියත්වයක් තිබුණු නායකයෙක් හිඳ නොමැති බැවිනි.
මෙය පට්ටපල් බොරුවක් බවද, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යෑමක් යැයිද කියන පාහරයෝද රටේ සිටිති. ඒ නම් මතු යම් දවසක අපේ ලොකු සහෝදරයා බුදුවී, එසේ බුදු වී ඇති බව කාඩිනල් තුමාද පිළිගත් පසු වුවද "ඕක ඕකාගේ තවත් පචයක්" යැයි කියන්නට බැරි නැති ජඩයන් පිරිසකි. ලොකු සහෝදරයාගේ ජනප්‍රියත්වය කෙතරම්දැයි කියතොත් බඩු ගන්නට කඩසාප්පුවකට ගියද, ගමනක් යන්නට බසයකට, කෝච්චියකට නැග්ගද, බේතක් ගන්නට දොස්තර කෙනෙකු ළඟට ගියද අසන්නට ලැබෙන්නේ මහජනතාව කඳුළු පිරි දෑසින් එතුමාගේත්, ආණ්ඩුවේත් හොඳම කියන අයුරුය. (කඳුළු පිරි දෑසින් යැයි කිව්වාට ඒ සතුටු කඳුළු බව කරුණාවෙන් සලකන්න.)
ලොකු සහෝදරයාත්, ඔහුගේ ආණ්ඩුවත් ලබා ඇති ජනාදරය පිළිබඳ දිවමන් සාක්ෂියක් මම ඉදිරිපත් කරන්නම්. ඒ නම් පළාත් සභාය.බලයට පැමිණ අවුරුද්දක් ඇතුළත පවත්වන්නේ යැයි පොරොන්දු වූ පළාත් සභා ඡන්දය අවුරුදු එකහමාරකට පසුවත් තබන්නේ නැතැයි එතුමාගේ හා ආණ්ඩුවේ සතුරෝ චෝදනා කරති. ඔවුන් කියන්නේ ඡන්දය නොතියන්නේ පරදිනවාට බයෙන් බවයි. රෙද්ද තමයි! රටේ සියයට 75.5 කගේ කැමැත්ත ඇති ලොකු සහෝදරයා පළාත් සභා ඡන්දය නොතියන්නේ ඒ නිරපරාදේ මුදල් නාස්ති කිරීමක් වන නිසාය. මේ තඹුත්තේගම ගොවි පුත්‍රයා තමන් 3/4 ක වැඩි ඡන්දෙන් දිනන බවට ෂුවර් ඡන්දය නොතියා ඒ මුදල් ඉතිරි කරන්නේ මන්දැයි නිකමට සිතන්න. ඒ ආණ්ඩුවෙන් මස් රාත්තලම ඉල්ලා සිටින මේ රටේ යක්ෂ ගොවියන්ගේ රිස්ස යන්නට ඔවුන් ඉල්ලන රුපියල් 150 සහතික මිල වෙනුවට රුපියල් 160 ක සහතික මිලක් වීවලටදී ඔවුන් අඬවන්නට විය නොහැකිද?
අපේ ලොකු සහෝදරයාගේත්, ඔහුගේ ආණ්ඩුවේත් සාර්ථකත්වයේ රහස ජන හද ගැහෙනා රාවය හඳුනා ගැනීමයි. එය හැත්තෑහය අවුරුදු සාපයේදී ඒ මෝඩ නායකයන්ට කවදාවත් කරන්නට බැරිවූ දෙයකි. ඔවුහු දැවැන්ත සංවර්ධන වැඩ කිරීම ජනතාවගේ අවශ්‍යතාවය යැයි සිතුවෝය. පිස්සු! ඔවුන් කල්පනා කළේ මිනිසුන්ට ඕනෑ තිස් අවුරුදු යුද්ධය නවත්වන්නට යැයි කියාය. විකාර! අපේ රටේ යක්ෂ පුත්‍රයන්ට අවශ්‍ය ඔය මඟුල් නොවේ. ඔවුන්ට ඕනෑ තමන්ට අල්ලන්නේ නැති, තමන් තරහෙන් පසුවන, තමන් ඊර්ෂ්‍යා කරන එවුන්ට කෙළවන්නටය. ඒ ටික සිද්ද වෙනවා නම් තමන්ට මොනවා වුණත් ඔවුහු ඉවසා වදාරති.
අපේ ජනහිතකාමී නායකයා හා ඔහුගේ ගෝලබාලයෝ ඒ වැඩේ හොඳටම කරති. ඔවුහු හැම මාසයකම ජනතා සතුරන් එකෙක්, දෙන්නෙක් අල්ලා රිමාන්ඩ් කරති. එකෙක් රිමාන්ඩ් කරන විට බඩු දෙක තුනක මිල වැඩි වුණද කම් කිම්? අවශ්‍ය ජනතාව සතුටු කිරීම පමණක් නො? අපේ ලොකු සහෝදරයා හා ඔහුගේ පොඩි සහෝදරවරු ඒ වැඩේ හොඳටම කරගෙන යති. ඒ අතරේ ආණ්ඩුවේ මෝඩ සතුරෝ ගෙවී ගිය අවුරුදු එකහමාරටම ආණ්ඩුව කළේ මොනවාදැයි ගොන් ප්‍රශ්න අසති. ඇයි දෙයියනේ, ආණ්ඩුව මේ අවුරුදු එකහමාරට කීදෙනෙක් රිමාන්ඩ් කළාද? ඒ මදි ද බොලව්!

