Best News Website award
brand logo
logo
පාපන්දුවේ අනෙක් පරාජයන් ගැනත් සමාව ගමුද ?

පාපන්දුවේ අනෙක් පරාජයන් ගැනත් සමාව ගමුද ?

22 November 2026 | නදුන්ක නෙත්සර


වසර තුනකට පසු පැවැති දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය නිමවූයේ සමස්ත කලාපයටම මෙන්ම විශේෂයෙන්ම අපටද පණිවුඩයක් ලබාදෙමිනි. එහිදී ඉන්දියාව සහ පාකිස්තානය අතර මෙන්ම පාකිස්තානය සහ බංග්ලාදේශය අතර ද අති උණුසුම් තරග පැවැත්වුණේය. ඊට නොදෙවැනි උද්‍යෝගයක් තරගාවලි ආරම්භයේ පටන්ම පාපන්දු ලෝලීන් අතර ජනිත කළ තවත් තරගයක් විය. ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය ය. විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ තර්ක විතර්කවලින් ඇරැඹි සංවාද පසුව, මෑත කාලයේ ශ්‍රී ලංකා- බංග්ලාදේශ ක්‍රිකට් ලෝලීන් අතර ඇතිවන්නා වූ 'සමාජ මාධ්‍ය ගැටුම්' සිහි ගන්වන තරම දක්වාම විහිදුණේ තරග උණුසුම තීව්‍ර කරමිනි. එනමුත් බංගලි පරාජය මෙන්ම අවසන් පූර්ව වරම අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට ප්‍රතිඵලය දුටු විට කීමට ඉතිරි වූයේ 'අහෝ දුකකි ඉරකි තිතකි' කියාය. බංගලින් අප පාගා දැමුවේ උස්සා පොළවේ ගැසුවාක් වැනි කම්පනයකට ලක් කරමිනි.


එංගලන්ත ලීග ක්‍රීඩා කරන ක්‍රීඩකයන් දෙදෙනකුගෙන් පමණක් සමන්විත වූ බංග්ලාදේශ කණ්ඩායම එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය වැනි රටවල ලීග ක්‍රීඩා කරන ක්‍රීඩකයන් රොත්තකින් සැදි අප කණ්ඩායම තඹයකට මායිම් නොකරන සෙයකින් පරාජය කළේ, අතීත දක්ෂතා මත අප තබා තිබූ බලාපොරොත්තු පොඩි පට්ටම් කරමිනි. එපමණක් නොව ශ්‍රී ලංකා කණ්ඩායමට නියත ජයක් අපේක්ෂා කර තිබූ භූතාන තරගය ද ජය පරාජයෙන් තොරව නිමා වීම විස්මයක් විය. මන්දයත් මාස 5කට පෙර අප විසින් 4-1ක් ලෙසත්, වසර දෙකකට පෙර 2-0ක් ලෙසත් භූතානය පහසුවෙන් පරාජය කර තිබීමය. තවත් අතකින් මෙය අපට එක් පැහැදිලි පණිවුඩයක් ලබා දුන්නේය. එනම් අප කොතන හෝ හොඳම එකෙන් වරද්දා ගත් බවය.


අප සිටියේ අප ගැනම අධිතක්සේරුවකද?


තරග පරාජය යනු සමාන්‍ය දෙයකි. හොඳම කණ්ඩායම් වුව තරගාවලි අසාර්ථකව නිමා කිරීම ද එලෙසමය. නමුත් වැදගත් වන්නේ අනතුරුව ගන්නා පියවරයන්ය. තරගාවලියෙන් අනතුරුව පසු විපරමක් කළ යුතුය. වරද සිදුවූයේ කොතැනද? ක්‍රීඩකයන්ගෙන් ද, පුහුණුකරුගෙන් ද, සැලසුම්වලද නැතහොත් සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ද යන්න හඳුනාගත යුතුය. අප පුහුණුකරු මාධ්‍ය හමුවලදී 'ගැලරියට ආතල්' දුන් ලෙසින්ම ඒ පිළිබඳව ද සිතා බලා ඇත්නම් හොඳය.


ශ්‍රී ලංකා පිලේ දකුණු ආසියානු ගමන නිමාවීමත් සමගම තවත් අමුතු දෙයක් සිදු විය. එනම් 'පාපන්දු සභාපති ජස්වර් ජාතියෙන් සමාව අයදියි' මැයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නිවේදනයක් නිකුත් කිරීමය. තරගයක් හෝ තරගාවලියක් පැරැදුණු කළ එහි වගකීම භාරගන්නේ සහ සමාව ගන්නේ කණ්ඩායම් නායකයා හෝ ප්‍රධාන පුහුණුකරුය. ඒ අස්සේම පවසන්නේ මීළඟ දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සාකච්ඡා කරන බවය. කුණු වූ කේක් ගෙඩිය අයිසින්වලින් වසා දමන්නා සේ තරගාවලියේ ප්‍රතිඵලය වසා දැමීමට අසාර්ථක උත්සාහයක යෙදෙන්නේ විහිළු සහගත ලෙසය. එමෙන්ම තරග පරාජය මතින් හෝ සිය නම සිරස්තලයකට ඔබා ගැනීමට දරන බාල ගණයේ උත්සාහය නම් ලැජ්ජාසහගතය. එමෙන්ම මතක් කළ යුත්තේ ශ්‍රී ලංකා කාන්තා ජාතික පාපන්දු කණ්ඩායම හෝ යොවුන් ජාතික කණ්ඩායමක් හෝ අන්ත පරාජ ලබා පැමිණෙන විට 'ජාතියෙන් සමාව අයැදීමේ නාටක' අප තවම දැක නැති බවය. ඇතැම් විට එවැනි කණ්ඩායම් ද මෙරට ඇති බව ජස්වර් උමර්ට අමතකව ගොස් තිබිය හැකිය.


එකී ජාතික කණ්ඩායම් පමණක් නොව මේ වන විට ක්‍රීඩා සමාජ සහ මෙරට පාපන්දු යටිතලයම ඇත්තේ මිය යමිනි. සිය චරිතය පුම්බා ගැනීමේ වෑයමක ඉන්නා පාපන්දු බලධාරීන් එම කාර්යය සඳහා තෝරාගෙන තිබෙන්නේ පිරිමි ජාතික කණ්ඩායමය. එබැවින් අනෙක් සියලු ජාතික කණ්ඩායම් මෙන්ම දේශීය පාපන්දු ක්ෂේත්‍රයටම ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලිය. මේ වන විට දෙවැනි ධුර කාලය ද ගත කරමින් සිටින නමුත් මෙරට වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් තරගවදින ප්‍රමුඛතම දේශීය පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ. කුසලාන තරගාවලිය 2020 වසරෙන් අනතුරුව තවමත් පැවැත්වීමට සමත්ව නොමැත. අද පවත්වනවා, හෙට පවත්වනවා යැයි කියන පොරොන්දු නම් එමටය. එම පොරොන්දු ද මෙරට ඉදිකරන බව කියන ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය මෙන් බාලගිරි දෝෂයට හසුවී ඇති හැඩය. කියූ කලට වැඩ ඇරැඹුණි නම් මේ වන විට සැලකියු යුතු මට්ටමේ වැඩ කොටසක් අවසන්ව තිබිය යුතු මෙකී ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය ද කලින් කලට හෝදා හෝදා මඩේ දමන තවත් එක් සීනි බෝලයකි.


කාන්තා පාපන්දුවට අත්ව ඇති ඉරණම ද දුක්ඛදායකය. ත්‍රිවිධ හමුදා ප්‍රමුඛ අතලොස්සක් කණ්ඩායම් හැරුණු කොට මෙරට කාන්තා පාපන්දු ක්‍රීඩාවක් කියා යමක් නොමැතිය. ෆිෆා මාර්ගෝපදේශ පවා නොතකා හරිමින් කාන්තා පාපන්දුව නොසලකා හැ‍ර ඇත. කාන්තා වේවා පිරිමි වේවා පාපන්දු ක්‍රීඩාව පාසල් මට්ටමේ සිට ඉහළට දියුණු කිරීම සඳහා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේ නැත. ජාත්‍යන්තර තරගාවලියක් කට ළඟටම පැමිණි පසු සති දෙක තුනක පුහුණුවීම් සිදුකර තරගාවලියට සහභාගි වීමේ අසාර්ථක ක්‍රමයට දිගු කාලීන සැලැස්මකින් පිළිතුරු තවම නැත. දැන් වන විට මෙරට ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ සිහිනයක් ද ඉතිරිව නැත. ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ගනිමින් මෙරට පාපන්දුවේ ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා, ෆිෆා අරමුදල් ඉහළ නංවා ගැනීම උදෙසා ශ්‍රී ලාංකික ජාන සහිත ක්‍රීඩකයන්, ඉහළ පිරිවැයක් දරමින් විදේශයන්ගෙන් ආනයනය කෙටි කාලීනව හොඳය. නමුත් මතු යම් දිනෙක මෙරට පාසල් මට්ටමේ සිට ඉහළට පැමිණෙන 'ක්‍රීඩා සමාජයට, තමන්ට පෙර රට' යැයි සිතන ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ යුතුය. ඒ සඳහා දේශීය පාපන්දු සංවර්ධන වැඩපිළිවෙලක් අවැසිය. එවැන්නක් අපට නැති වුව බංග්ලාදේශය සතුය. බැංකොක්හි පැවති 2026 ආසියානු පාපන්දු සම්මේලන සම්මාන උළෙලේදී, බිම් මට්ටමේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් පිරිනැමෙන AFC සභාපතිගේ ඇගයීම් සම්මාන‍යේ, රිදී සම්මානය බංග්ලාදේශ පාපන්දු සම්මේලනය දිනන්නේ ඒ නිසාය. 2025 වසරේ ලෝකඩ දිනූ ඔවුන් මෙවර තවත් ඉදිරියට පැමිණ තිබේ. එංගලන්තයෙන් කැඳවූ ක්‍රීඩකයන් දෙදෙනකු පමණක් සිටි බංග්ලාදේශය අපව එතරම් පහසුවෙන් පරාජය කිරීමේ රහස පැහැදිලිය.


මෙරට පුහුණුකරුවන්ට අත්ව ඇති ඉරණම ද ක්‍රීඩකයන්ට දෙවැනි නැත. පාසල් කෙතරම් ප්‍රමාණයක පාපන්දු ක්‍රීඩා කළත්, ක්‍රීඩා සමාජ කෙතරම් තිබුණත් ඒ සියල්ලෙන් නිසි ඵල ලැබෙන්නට නම් පුහුණුකරුවන්ගේ දායකත්වය තීරණාත්මකය. මෙරට පුහුණුකරුවන් අති බහුතරයකගේ දැනුම වර්තමාන ලෝකයේ පාපන්දු තරගකාරිත්වය සමගින් ගැටෙන්නට සරිලන පරිදි යාවත්කාලීන ද යන්න අප ඉදිරියේ ඇති දැවැන්ත ප්‍රශ්නාර්ථයකි. එයට පිළිතුරු ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලින් ලැබෙන්නේය. වරද පුහුණුකරුවන්ගේ නොව ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීමට අවැසි ආයෝජනයන් සිදු කිරීම අමතක කළ පාපන්දු සම්මේලනයේය. පාපන්දු සම්මේලනය පුහුණුකරුවන් වෙනුවෙන් කරන්නා වූ ඉහළම කර්තව්‍ය 'ඩී' මට්ටමේ පුහුණු වැඩසටහන් දියත් කිරීමය. පෙනෙන්නට තිබෙන්නේ ඉන් ඔබ්බට පියවරක් තැබීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති හැඩක්ය. ක්ෂේත්‍රයේ කියැවෙන්නේ මෙම ඩී' මට්ටමේ බලපත්‍රය සඳහා පරීක්ෂණයට මුහුණ දෙන සියලු දෙනාම පාහේ එය සමත්වන බවය. එබැවින් මෙරට පාපන්දු ක්‍රීඩාව මෙම ආරම්භක මට්ටමේ බලපත්‍ර ලාභී පුහුණුකරුවන්ගේ දැනුමෙන් ගොඩ නැගීම කෙසේ වනුදැයි සිතා ගැනීම පාඨකයන්ට භාරය.


අනෙක් අතට මෙරට සිටින අතලොස්සක් වූ ඇතැම් දක්ෂ පුහුණුකරුවන්ට නිසි තැන ලැබෙන්නේ ද නැත. චෝදනා එල්ල වන්නේ නිසි තැන ලබනට දක්ෂතාවක පමණක් ප්‍රමාණවත් නොමැති බවටය. දක්ෂතාවය ඇතිව හෝ නැතිව අවස්ථාව ලැබෙන්නේ එක්තරා කුලකයකට පමණක් බවය. ඇතැම් විට ඒ කුමක් හෝ ණයකට හිලව්වන්නට දැයි සිතෙන්නේය. කෙසේ හෝ වේවා තෝරාගත් එක්තරා යොවුන් කණ්ඩායමක පුහුණුකරුවකු ඉකුත්දා ජාත්‍යන්තරයේදී රටේ නම මත පහරන අයුරු ද දක්නට ලැබුණේය.


පාසලෙන් පාපන්දු දිවිය අරඹන ක්‍රීඩකයෙක්, ජාතික මට්ට්මට, විශ්‍ර්‍රාම යාමෙන් අනතුරුව දැනුමෙන් හා අත්දැකීමෙන් සන්නද්ධ පුහුණුකරුවෙක් ලෙසට ගමන් කරමින් තවත් පාසල් ක්‍රීඩකයකු එම මග ගමන් කරවන තැන දක්වා පැමිණෙන ගලායාමක් අප සතුව නැත. මෙරට ජාතික කණ්ඩායම නියෝජනයට එතෙරින් එන ලේ නෑයන්ගෙන් අප බිම් මට්ට්ම පෝෂණය කිරීම සඳහා ද වැඩපිළිවෙළක් නැත. එනමුත් සභාපතිගේ නම සහ රුව ප්‍රවර්ධනයට නම් වැඩ එමටය. ජාතික කණ්ඩායම තරගාවලියක් සඳහා පිටත්ව යන අවස්ථාව ඡායාරූපයක් ගත්තද, ජයග්‍රහණය කරන අවස්ථාවක ඡායාරූපයක් ගත්තද ක්‍රීඩකයකු මග හැරණත් සභාපති නම් මග හැරෙන්නේ නැත. මක්නිසාදයත් මෙය බඩ වඩාගන්නා වෑයමක් මිස රටේ පාපන්දුව ගොඩනගන වෑයමක් නොවන නිසාය.


මෙලෙස කෙටි කාලීන ජයග්‍රහණවලින් රටම මුලා කරන, දිගුකාලීන කඩාවැටීමකට අර අදින්නා වූ මෙම මගෙහි අවසානයට පැමිණි දිනට ජාතියෙන් සමාව ඉල්ලීම පමණක් නම් ප්‍රමාණවත් නොවනු ඇත.

 

More News..