Best News Website award
brand logo
logo
බලංගොඩ කස්සප හිමිට ඇප

බලංගොඩ කස්සප හිමිට ඇප

17 November 2026 | අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය


අධිකරණයේ පෙනී නොසිටීම නිසා විවෘත වරෙන්තු මත බන්ධනාගාර ගතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස අද (17) නියම කළ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සූදීන් මහතා අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් හෝ අධිකරණයට අපහාස වන ලෙස හෝ මාධ්‍යයට ප්‍රකාශ දීමෙන් වැළකී සිටින ලෙසත් නියමිත නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටිය යුතු බවටත් තරයේ අවවාද කළේය.


ත්‍රිකුණාමලය, කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකරමින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමල මහාධිකරණය දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටි විත්තිකරුවන් අතරින් මෙම විත්තිකාර හිමිනම එම ඇප කොන්දේසි කඩකර ඇති බැවින් ඇප ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කරන බව වරාය පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.


පූජ්‍ය බලංගොඩ කස්සප හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල දිසානායක මහතා පැවසුවේ අධිකරණයට සිදුකර ඇති අපහාසය හා ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තම සේවාදායකයා අධිකරණයෙන් හා මහේස්ත්‍රාත්වරයාගෙන් සමාව අයදින බවය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුදීන් මහතා ලබන ජනවාරි 06 දින අදාල නඩුවට පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ඇප කොන්දේසි කඩ කළහොත් යළි බන්ධනාගාර ගත කරන බව දැනුම් දෙමින් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කෙරිණි.


ත්‍රිකුණාමලය, කොටුව පාරේ වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකරමින් බුදු පිළිමයක් තැන්පත් කිරීමෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරන පනත උල්ලංඝනය කිරීමේ චෝදනාවට පසුගිය නොවැම්බර් 11 දින පැවති නඩු විභාගයට පෙනී නොසිටීම නිසා විත්තිකාර හිමි නමට නොසිති නිකුත් කර තිබුණි. විත්තිකාර හිමිනම මෙම නඩුවට ඇප මත මුදාහළද අනුරාධපුර රුවන්වැලිසෑය අබියස ඇතිවූ ගැටුමකට නොවැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති නිසා ත්‍රිකුණාමල බන්ධනාගාරයට රැගෙන ගිය මෙම හිමිනම අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන යෑමට නියමිතය.

 

More News..