Best News Website award
brand logo
logo
 පදිකයෙකුට මහමඟදී පහරදුන් ජීප් රථ රියදුරු අත්අඩංගුවට

පදිකයෙකුට මහමඟදී පහරදුන් ජීප් රථ රියදුරු අත්අඩංගුවට

22 November 2026


කොළඹ, බොරැල්ල කනත්ත වටරවුම අසලදී පදිකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජීප් රථ රියදුරෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පසුගිය 20 වැනිදා පස්වරු 3.30ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර එම අවස්ථාවේදී කනත්ත වටරවුම අසල පදික මාරුවේ ආලෝක සංඥාවල රතු එළිය දැල්වී තිබියදී පදිකයන් දෙදෙනෙකු මාර්ගය හරහා ගමන් කරමින් සිට ඇත.


එහිදී රාජගිරිය දෙස සිට කනත්ත වටරවුම දෙසට ධාවනය වූ ජීප් රථයක රියැදුරු සමඟ ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව රියදුරු රථයෙන් බැස එක් පදිකයෙකුට පහරදී ඇති බව වාර්තා වේ.


ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බොරැල්ල පොලීසිය, පහරදීමට සම්බන්ධ බවට සැක කෙරෙන ජීප් රථයේ රියදුරු ඊයේ (21) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.


සැකකරු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු ගංජා භාවිතයට ඇබ්බැහි වී ඇති බවට වෛද්‍ය වාර්තාවක් ලැබී ඇති බව ද පොලීසිය සඳහන් කළේය.


ඔහු අද (22) අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 

More News..