එල් - නිනෝ මතට තිත තබයි!
31 July 2026
එල් - නිනෝ මතට තිත තබයි!
31 July 2026
එල්-නිනෝ නර ලොව නිරයක් බවට පත්කරමින් තිබේ. අපාය, නිරය පිළිබඳ කතාවල දැක්වෙන ආකාරයට නිරාගත වූවන්ට සතර කොනින් පමණක් නොව මැදින් මතුවන පංචාග්නියකින් දැවීමට සිදුවෙයි. එල් නිනෝ නිසා අද අපට සිදුව තිබෙන්නේ දැවි දැවී තැවෙන්නටය. කාලගුණ විද්‍යාඥයන් සඳහන් කරන පරිදි ඉදිරි දිනවල දී මෙකී තැවිල්ල තවත් ඉහළ යනු ඇත. ඒ අනුව ලෝකය රත් වීම අපට පාලනය කළ නොහැකිය. එහෙත් එමගින් අපගේ ජීවිතය ආරක්ෂා කර ගත හැකි වැඩ පිළිවෙළක් වෛද්‍යවරුන් සහ අනෙකුත් තතු දන්නන් ඉදිරිපත් කර තිබේ. එකී සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරියක් වන ඉනෝකා සුරවීර සඳහන් කර තිබුණේ මෙවැනි දැවෙන තැවෙන පරිසරයක සුරාව සහ පැණි බීම වර්ග පානය කිරීම වඩාත් අහිතකර බවයි. මත්පැන් සහ පැණි බීම වර්ග පානය කිරීම මගින් ශරීරයේ උෂ්ණත්වය ඉහළ යයි. වෙසෙසින් මත්පැන් පානය කළ විට ශරීරය නිතැතින් විජලනය වෙයි. එයට ප්‍රධාන හේතුව මත්පැන් පානය කළ පුද්ගලයන්ට වැඩි වශයෙන් මුත්‍රා කිරීමට සිදුවීමය. එමගින් ශරීරයේ තිබෙන ජලය බැහැර වන බව වෛද්‍යවරු පෙන්වා දෙති. එසේ වැඩිපුර ශරීරයෙන් ජලය පිටවීමෙන් උෂ්ණත්වය පාලනය කිරීමේ ශරීරයෙහි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය බිඳ වැටේ. එහි අනිවාර්ය ප්‍රතිඵලය සුරාව පානය කරන සුරා ලෝලීන් තාප ආඝාතයට ලක්වීමයි. ඔවුන්ගේ ශරීරය තාප ප්‍රහාරයට ලක්වෙයි. එහෙත් ශරීරය මෙම තත්ත්වය පාලනය කර ගැනීමට, නියාමනය කිරීමට යොමුවීමේ ප්‍රතිඵලයක් හැටියට තාප ආඝාතයට ගොදුරු වෙයි. ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්ම වූ විට තත්ත්වය වඩාත් බරපතළ වෙයි.
එනිසා මේ තත්ත්වය සුරාලෝලීන්ගේ අවධානයට යොමු විය යුතුය. මෙම දිනවල සුරා පානයෙන් මාරයා කලින්ට වඩා ඉක්මනට ලංවෙන බව තේරුම් ගත යුතුය. සුරාවට ඇබ්බැහි වූවන් මුහුණ දෙන අනිවාර්ය ලක්ෂණයක් නම් බොහෝ විට සිහි විකල් වීමය. එනම් සිහි මද ගතියට පත්වීමය. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මේ ඉතාම භයානක තත්ත්වයක් බවය. එයට හේතුව සිහිවිකල් වූ පුද්ගලයාට තමන්ගේ ශරීරය මුහුණ පාමින් තිබෙන අනතුර තේරුම් ගැනීමට නොහැකි වීමය. එනිසා එවැන්නන්ගේ මරණය ඉක්මන් වෙයි. සුරාලෝලීන් සුරාව පානය කරන්නේ තමන් පිනවා ගැනීමටත් අනුන් සමග විනෝද වීමටත් ය. එවැන්නකින් තමන් සහ අනුන් නොව මාරයා නම් විනෝද වන බව වෛද්‍යවරු සඳහන් කරති. බොහෝ විට අප දන්නේ සුරාව හේතුවෙන් දීර්ඝකාලීනව සිරෝසිස් වැනි විවිධ රෝගවලට ගොදුරු වන බවයි. එහෙත් සුරාව හේතුවෙන් උද්ගතවන තාප ආඝාතය ඔබගේ ජීවත් වීමේ භාග්‍ය එසැණින් උදුරා ගැනීමට සමත්ය. සුරා ලෝලියාට සුරාව දෙතොලේ තවරා ගත් විට මාත්‍රාව පිළිබඳ හැඟීමක් නැත. විශේෂයෙන් ලංකාව වැනි රටවල සුරා ලෝලීහු මාත්‍රාව නම් නොදනිති.
බැරල් ගණන් වුවද බීමට රුසියෝ මෙහි වෙති. බීම නම් කලාවක් යැයි කවුදෝ පඬිවරයෙක් සඳහන් කර තිබුණද ලංකාවේ සුරාලෝලියා එක තැනකදී බීම කලාවක් කර ගැනීම කෙසේ වෙතත් අපායක් හෝ ප්‍රේත ලෝකයක් නම් කරගනී. එබැවින් කලාවට බීමට දන්නෝ බෙහෙවින් හිඟ වෙති. සුරා පානය පිළිබඳ ජන ස්ථර අතර තිබෙන ආකල්පයද වෙනස්ය. ඇඟපත වෙහෙසා වැඩ කරන උදවිය සුරාව හලා ගන්නේ ඇඟේ පතේ අමාරුව නැති කර ගැනීමට යැයි කියමිනි. එහෙත් දැන් එසේ සුරාව හලා ගතහොත් එය හලාහල විෂක් වීම නොවැළැක්විය හැකිය. සුරාව පමණක් නොව වෛද්‍යවරුන් සඳහන් කරන පරිදි පැණි බීම වර්ග පානය කිරීමද තාප ආඝාතයට හේතු විය හැකිය. පැණි රස වර්ග පානය කළ විට හෝ අනුභව කළ විට වතුර පිපාසය වැඩිවෙයි. එසේම පැණි බීම වර්ග පානය දියවැඩියාව වැනි රෝගවලට ආවඩන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එහෙයින් වැඩිහිටියන් කුඩා දරුවන් පිළිබඳ අවධානයෙන් පසු විය යුතුය. ඒ සමග සිහිපත් කළ යුත්තක් නම් සමහර වැඩිහිටියන් දරුවන් සමග සාප්පු සවාරියේ හෝ වෙනත් ගමනක් ගිය විට කුඩා උන් කාර් රථයේ දමා යාමය. එහෙත් කාර් රථයක් තුළ උෂ්ණත්වය වැඩිවීමට වැඩි කාලයක් ගතවන්නේ නැත. වෛද්‍යවරුන් සඳහන් කරන ආකාරයට කුඩා දරුවන්ගේ ශරීරවල උෂ්ණත්වය පාලනය කර ගැනීමේ හැකියාව ද තිබිය යුතු මට්ටමට වර්ධනය වී නැත. මෙකී කරුණු පිළිබඳ සියලු දෙනා අවධානය යොමු කළ යුතුය. එසේම පාසල්වල ක්‍රීඩා ඇතුළු එළිමහනේ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් නතර කළ යුතුය. මෙකී කරුණු අනුව නම් අපට සඳහන් කළ හැක්කේ එල්-නිනෝ පහවන තෙක් හෝ පස් වැනි ශික්ෂාපදය ආරක්ෂා කිරීම වැදගත් බවය.

