brand logo
logo
සිවුර ගැලවූවාට ඥානසාර හිමි උපැවිදි නෑ

සිවුර ගැලවූවාට ඥානසාර හිමි උපැවිදි නෑ

10 October 2026 | වරුණ අබේසේකර

පොලිස් අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ අභියාචනාධිකරණයට ඉකුත් 05 වැනිදා වැඩම කළේ සිවුරු දරාය. උන්වහන්සේ අධිරණයට රැගෙන ආවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාඋන්වහන්සේට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කිරීම හේතුවෙනි. එබැවින් උසාවිය නියෝග කළේ උන්වහන්සේගේ ඉතිරි සිරදඬුවම් කාලය ගොවීයනතුරා හිරේ දැමිය යුතු බවය. එසේ ගෙනා උන්වහන්සේ බන්ධනාගාරයට භාරදෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

වැලිකඩ සිරගෙදරට රැගෙන ගිය උන්වහන්සේ ඉකුත් 7 වැනිදා වෙනත් නඩුවකට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර නිලධාරින් විසින් රැගෙන එනු ලැබුවේ සුදු පැහැති සරමක් හා කමිසයක් අන්දවාය.


සිවුරු දරා හිරේට ගිය ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට සරම්, කමිස ඇන්දවීම ගැන රටේ තොටේ ලොකු ආන්දෝලනයක් ඇති විය. එම සිද්ධියට පක්ෂ හා විපක්ෂව අදහස් පළ විය. එම ආන්දෝලනය කොතරම් දුරදිග ගියේදැයි කිවහොත් අතිශය කාර්යබහුල ජනාධිපතිවරයාගේ දිනපොතේ වැඩ ආපස්සට දමා භික්ෂුන් වහන්සේ පිරිසකට ඔහු හමුවීමට වේලාවක් දුන්නේය. ඒ ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට කළ දේ ගැන කතා කිරීමටය. අවසානයේදී ජනපතිවරයා තීන්දු කලේ හිරේ යන භික්ෂුන්ගේ සිවුරට කරන දේ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමය.


එනමුත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න කීවේ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් සේම වරදකුරුවන් වූ භික්ෂුන් රැසක් බන්ධනාගාරයේ සිටින්නේ සිර ඇඳුමින් බවත්, එසේ කරන්නේ බන්ධනාගාර නීතිය අනුව බවය.


මේ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ හිරේ ගිය මුල්ම අවස්ථාව නොවේ. උන්වහන්සේ හිරේ ගියේ මිනීමරා, ස්ත්‍රී දූෂණ කර, සොරකම්කර, රජය සතු දේපොළ ගිනිතබා නොවේ. කොටින්ම අපරාධමය වරදකට නොවේ. මින් පෙර හිරේ ගිය බොහෝ භික්ෂූහු අපරාධ වරදට වරදකරුවන් ලෙස අචිචු ලැබූ අයය. ඒ අතරින් බොහෝමයක් අපචාර චෝදනාවලටය.


ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් වරදකරු වූයේ උසාවියට අපහාස කිරීමේ චෝදනාවටය. ඒ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩු විභාගයේදී අධිකරණයේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් උසාවියේ කතා කිරීම නිසාය. එවකට හෝමාගම මහෙස්ත්‍රාත් වූයේ රංග දිසානායකය. වර්තමානයේ ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාය.

මේ සිද්ධියට පමණක් නොව ඥානසාර හිමියෝ අවස්ථා කිහිපයකදීම සිරගත කරනු ලැබූහ. සිංහල බෞද්ධගම නොඅගයන බටහිරවාදී ඇගයුම් මත පදනම් වූ නායකයකු යැයි සමහරුන් චෝදනා කරනු ලබන රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ යහපාලන ආණ්ඩුව සමයේදීද උන්වහන්සේට සිර බත් කෑමට සිදුවිය. එසමයෙහි ද උන්වහන්සේගේ චීවරය ගැලවීම පිළිබඳ යම් හාහුවක් පැතිර ගියද එය රාජ්‍යතාන්ත්‍රිකව කල්පනා කර විසඳා ගැනීමට රනිල්ට හැකි විය. එහෙත් උන්වහන්සේට දී තිබුණු ජනාධිපති සමාව අහෝසි කර නැවත සිරගත කළවිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උන්වහන්සේගේ චීවරය ගලවා දැමීය. ජනාධිපතිවරයා හමුවීමට ගිය භික්ෂුන් වහන්සේට ද ඔහු සඳහන් කර තිබුණේ බන්ධනාගාර පනත අනුව ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලවූ බවය. එනමුත් බන්ධනාගාර ආඥා පනත අනුව නම් ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවීමට කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බව නීති විශාරදයන් ඇතුළු විද්වතුන් පෙන්වා දී තිබේ.

උසාවියට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතුය. ඒ වෙනුවට වරදකරුවන් කරනු ලැබීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැළපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඔවුන්ට ඉඩ දිය යුතුය. යනුවෙන් එහි සඳහන්ව ඇත්තේය. උදාහරණයක් ලෙස සිරගත කළ ජනරාල් සරත් ෆොන්සේකා මහින්ද රාජපක්ෂ යුගයේදී නැවත වරක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු උසාවියට රැගෙන ආවේ ජම්පරයෙන් නොව ජාතික ඇඳුම අඳින්නට ඉඩ දීය. සරත් ෆොන්සේකා ජාතික ඇඳුම ඇන්දා සේ භික්ෂුන් වහන්සේගේ ඇඳුම චීවරය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එසේ බලන විට උන්වහන්සේගේ චීවරය ගලවා දැමීම පිටුපස තිබෙන්නේ වෙනත් කතාවකි.

ශාසන වත්පිළිවෙත් අනුව සිවුරු බලෙන් ගැලවූ සැණින් උන්වහන්සේගේ භික්ෂූත්වය අහෝසි වන්නේ නැත. සාමණේර භික්ෂුවක් කැමැත්තෙන් නම් සිවුරෙන් ඉවත් වූ විට ඔහු ගිහියකු බවට පත් වුවත් උපසම්පදා භික්ෂුවකට එය අදාළ වන්නේ නැත. උපසම්පදා භික්ෂුවක් සිවුරු හැරීම යනුවෙන් අදහස් වන්නේ උන්වහන්සේ නැවත පන්සිල් සමාදම් වීමය. ඊට හිරගෙදර ඇති හොඳම උදාහරණය අගමැති බණ්ඩාරනායක ඝාතනයට හිරේ ගිය කැලණි රජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිතය. උන්වහන්සේ සේම තල්දූවේ සෝමාරාම අගමැති ඝාතනයට හිරේ ගියහ. සෝමාරාමට මරණ දඬුවම හිමි විය. බුද්ධරක්ඛිත දිවි ඇතිතෙක් හිරේට නියම විය.


එකල හිරේට නියම වූවන්ගේ බෞද්ධාගමික වතාවත් පැවැත් වූයේ වැලිකඩ හිරගෙදර අසල ආනන්දාරාමාධිපති ගොඩකන්දේ සරණතිස්ස නාහිමිය. 1962 ජුනි 17 වැනිදා උන්වහන්සේ වැලිකඩ හිරගෙදරට වැඩම කළ අවස්ථාවේදී මාපිටිගම බුද්ධරක්ඛිත ඒ හිමියන් බැහැ දැක තමන් වහන්සේට ගිහියකු වීමට අවශ්‍ය බව දැන්වීය. ඒ අනුව මාපිටගම බුද්ධරක්ඛිත වැලිකඩ හිරගෙදර බුදු කුටිය වෙත ගෙන ගිය සරණතිස්ස නාහිමි උන්වහන්සේට මල් පහන් පුද කරන ලෙස පැසීමෙන් පසු සරණතිස්ස නිහිමි උන්වහන්සේට පන්සිල් දුන්හ. පන්සිල් සමාදන් වී ගිහි ජීවිතයට පැමිණි බුද්ධරක්ඛිත තමන්ගේ නම ඒ අයුරින්ම භාවිත කරන බව සරණතිස්ස හිමියන්ට කීහ. එසේ නම භාවිත කිරීම වරදක් නැති බව සරණතිස්ස නාහිමියෝ බුද්ධරක්ඛිත මහතාට වදාළෝය. ඒ මොහොතේ හිරේ සිටි තල්දූවේ සෝමාරමද තමාද ළඟදී මහනදම් අත්හරින බව සරණතිස්ස නාහිමිට කීහ. ඉක්බිතිව උන්වහන්සේ ක්‍රිස්තියානි දහම වැලඳගෙන භික්ෂූත්වය අතහැරීය. එල්ලා මරණු ලැබූ තල්දූවේ සෝමාරාම වෙනුවෙන් ආගමික වතාවත් කළේ පූජකවරයෙකි.

මාපිටිගම බුද්ධරක්ඛිත අයත් වූයේ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයටය. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් උපසම්පදාව ලැබුවේ සියම් මහා නිකායේ කෝට්ටේ කලයාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙනි. එහි වර්තමාන මහානායක පදවිය උසුලනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මානන්ද මහානිහිමියි. එම නිකායේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියන් ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ චීවරය ඉවත් කිරීම ගැන රජයට දැඩි විරෝධ පළ කළේය.


"භික්ෂුන් වහන්සේ නමක් චීවරයක් දැරිය යුතුද නැද්ද යන්න තීරණය කළ යුත්තේ අදාළ භික්ෂුන් වහන්සේ සහ උන්වහන්සේ අයත් නිකාය හෝ සංඝ සභාව පමණයි. ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවීමෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කර තිබෙන්නේ සංඝ සභාව ගත යුතු තීරණයකට අතදැමීමයි, ඥානසාර භික්ෂුන් වහන්සේ සිවුරෙන් නෙරපා හැරිය යුතු තරම් විනය විරෝධී ක්‍රියාවක් කර තිබෙන බව, පාරාජිකාවකට පත්ව තිබෙන බව අපට වාර්තා වෙන්නේ නැහැ. ඒ කවර පදනමකින් වුවත් උන්වහන්සේගේ චීවරය ගැලවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කිසිදු අයිතියක් නැහැ."

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ආචාර්ය අග්ග මහා පණ්ඩිත කොටපිටියේ රාහුල නාහිමියෝ අප සමග සඳහන් කළහ.


එසේම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඥානසාර හිමියන්ට දුන් ජනාධිපති සමාවෙහි යම් දොසක් තිබේ නම් වත්මන් ජනාධිපතිවරයා කළ යුත්තේ එකී දොස් නිදොස් කර උන්වහන්සේට දුන් සමාව සහතික කිරීම බවද කොටපිටියේ නාහිමියෝ සඳහන් කරති.

කෙසේ නමුදු බුදුදහමට ලොකුම හානිය කළ යටත් විජිත පාලකයෝද බුද්ධ චීවරයට අත තැබුවේ නැත. ඊට හොඳම කතාව ඉංග්‍රීසි පාලනයෙන් ලංකාව නිදහස් කරගැනීම සඳහා සටන් කළ , ඉන්දියානු නිදහස් සටනටද සහයෝගය දැක්වූ උඩකැන්දවල සරණංකර හිමියන්ගේ සටනක සටහන් නමැති කෘතියේ ඇති මේ කතාවය.

...හික්කඩුවේ තිරාණගම රැස්වීමකදී (දෙවන ලෝක) යුද්ධයට විරුද්ධව කතා කළේ යැයි කියා... මට විරුද්ධව චෝදනාවක් ගාල්ලේ උසාවියට ඉදිරිපත් කර තිබුණේය.

චෝදනාවට නිවැරදිකරු යයි කියා සිටි මම අධිරාජ්‍යවාදීන් සියවසකට වැඩි කලක් මෙරැටියන්ගේ ලේ උරා බිවූ අයුරුත්, උසස් ජාතියක්ව සිටි ලාංකිකයන් අද පිරිහී සිටින්නේ ඒ නිසා බවත්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව මවුබිමේ නිදහස උදෙසා සටන් කිරීම අපරාධයක් නම් මා වැරදිකරු වන බවත්, එය අපරාධයක් වශයෙන් අධිරාජ්‍ය පන්දම්කාරයන් හා පාලකයන් පිළිගත්තත් මා නොපිළිගන්නා බවත් කියා සිටියෙමි.

එහි ප්‍රතිඵලය වූයේ දෑවුරුදු සිර දඬුවමක් නියම වීමයි.

උසාවියේ ප්‍රධාන විනිශ්චයකාරතුමා විසින් නඩු තීන්දුව කියවන ලදුව මා හිරගෙදරට කැඳවාගෙන යනු ලැබීය... ගාල්ලේ හිරගෙදර මකර කට මෙන් විවෘත වූ ගේට්ටුවෙන් ඇතුළුවත්ම නිදහස් ලෝකයෙන් වර්ෂ දෙකකට මම ඈත් වුණෙමි. දොර වැසී ගියේය.

මගේ දෙනෙතින් කඳුළු හැලුණේ හිරගෙට යාමට බියකට හෝ දුකකට හෝ පත්වීම ගැන නොවේ. මා උපන් බිම වෙනුවෙන් යම් කිසි සේවයක් කොට හිරගෙදරට යාමට සිදුවීම ගැනයි.

...මෙසේ සිතිවිලි සාගරයේ කිමිදෙමින් සිටින අතර හිරගෙදරින් නිලධාරියකුගේ අණ පරිදි කාමරයකට මම ගියෙමි. කාමරයට ඇතුළුවත්ම "ගලවපන් රෙදි" යි මහ ගොරෝසු හඬක් ඇසිණි. මම වටපිට බැලීමි. අනෙක් හිරකරුවකු එහි නොසිටි හෙයින් ඒ මට කළ අණකැ'යි සිතීමි. මම නිහඬ වීමි. තව වරක් ඒ ගෝරනාඩු හඬ ඇසිණි.


මම ඒ දෙස බලා "රෙදි ගලවාපන් කියන්නේ කාට ද?" දැයි විමසුවෙමි. "තමාට"යි හෙතෙම මඳක් සැර අඩුකොට උත්තර දුන්නේ ය.

"රාලහාමි, මේවා රෙදි නොවේ, මේවා සිවුරු. මේවා ඇන්දේ බොහොම ගරු සැලකිලි ඇතිව. මේවා ගලවන්නේත් එවැනිම ගරු සැලකිලි ඇතිවයි. මේවා මංකොල්ලකාරයන්ගේ, වේසා ගෑනුන්ගේ රෙදි ගලවන තාලයට ගලවන්න බෑ" මම කීයෙමි.


"මෙහෙ ඔය ලොකුකම් බැහැ. කොච්චර ලොක්කෙක් ආවත් ඔය දොර ළඟට පමණයි ලොකුකම්. එතැනින් මෙහාට ආවා නම් කතා බෑ. අපි කියන එක කරන්න ඕනෑ" කියා, "ගලවනවා ඇඳගෙන ඉන්න රෙදි. අඳිනව හිර ඇඳුම්. නැත්නම් හුඟක් ඇඟ රිදෙනවා ඇති" ඔහු මහා ආඩම්බර ලීලාවකින් පැවසීය.

ගණන්කාර නිලධාරී තැනට උත්තර දීමටත් පෙර එහි පැමිණි තවත් නිලධාරියෙක්, "මේක හිරගෙදර හාමුදුරුවනේ, උසාවියෙන් වැරදිකරුවන් වී එන කවුරුන් වුවත් හිර ඇඳුම් අඳින්නට ඕනෑ. ඒක රජ්ජුරුවන්ටත්, වැසියන්ටත්, හාමුදුරුවන්ටත්, කාටත් එකයි. හිරගෙදර නීතිය කාටත් එකයි" කීයේ හිතවත් භාවයක් පෙන්වමින් ය.


"ඒක එහෙම තමයි නීතිය. මට ඒ ගැන තමුන්නාන්සේලා එක්ක කතා කරන්ට දෙයක් නෑ. මේ සිවුරු පෙරෙව්වේ මහ උත්සව සහිතව, මේවා ගලවන්න එවැනිම උත්සව නැතත් සැලකිලි තිබෙන්ට ඕනෑ. අපේ රට දැන් යටත් රටක්, ඒත් මේක බෞද්ධ රටක්. එබැවින් මගේ සිවුරු ගලවන්නට නම් ඊට පෙර අපේ ගරු මහානායක හාමුදුරුවෝත්, ගිහි බෞද්ධ නායකයකු වශයෙන් පිළිගත් ස්වදේශ භාර අමාත්‍ය ජයතිලක මහත්මයාත් මට හමුවන්න ඕනෑ. එහෙම නැතිව මා සිවුරු ගලවන්නේත් නෑ, වෙන කාටවත් ගලවන්න දෙන්නේත් නෑ. එහෙම ගලවනවා නම් තමුසෙලාගේ වැඩක්. නමුත් එයින් පසු මතුවන අනික් කරදර ගැන තමුසෙලා වග බලාගන්නත් ඕනෑ"


"මොකද හාමුදුරුවෝ හිරගෙදර කඩන්නට ද?"

"එහෙම වෙන්නත් බැරි නෑ. නමුත් මගේ සිවුරු බලෙන් ගැලෙව්ව හැටියේම මම මෙතනම උපවාසයක් පටන් ගන්නවා" ඊට පසු ඔවුහු මා සමග කිසිත් කතා නොකොට මා හිරගෙය තුළට යවා ප්‍රධාන සුපිරින්ටැන්ඩන්ට් තැනට දැන්වූහ.


මම එහි අගුවකට වී කළ යුතු දෑ ගැන මෙනෙහි කරමින් කල්පනා ලෝකයට ඇතුළු වීමි....

එසේම පහත දැක්වෙන ජෝන් ඩොයිලිගේ සටහනෙන් උසාවියෙන් වරදකරුවකු වූ භික්ෂුන් වහන්සේ නමකගේ චීවරය ගැලවීමේදී යටත් විජිත ඉංග්‍රීසි නිලධාරීන් කෙතරම් ඉවසීමකින් කටයුතු කර තිබේද යන්න පැහැදිලිවෙයි. රට කරවන උදවිය, නිලධාරීන් මේවා කියවිය යුතුය. අධ්‍යනය කළ යුතුය.

"1830 සැප්තැම්බර් 08 වැනි දින අධිකරණ කොමසාරිස් තැනගෙන් කුරුණෑගල අධිකරණ ඒජන්ත තැනට,

මහතාණනි, බෞද්ධ භික්ෂුවක (නම සඳහන් නොවේ) හොරකම හා බොරු දිවිරීම සම්බන්ධයෙන් වරදකරු යයි වාර්තාකොට මවෙත එවුණු මේ මස 06 වැනි දින දරන ඔබගේ ලිපියට හා නඩු විභාගයට සහභාගි වූ විනිශ්චය සහායකයන් ඔහුගේ සිවුරු ගැලවිය යුතු යයි කළ ඉල්ලීමට පිළිතුරු වශයෙනි.


මෙබඳු අවස්ථාවන්හිදී සිවුරු හැරවීමෙන් අවමානයට පාත්‍ර කිරීමත්, දඬුවමේ කොටසක් ලෙස සැලකීම චාරිත්‍රානුකූල ය. නඩු විභාගය අවසන් වූ වහාම මෙය කළ යුතුය. මහනුවර අස්ගිරි විහාර පාර්ශ්වය, මල්වතු විහාර පාර්ශ්වය යන පාර්ශ්ව දෙකින් යමකට හිරකාරයා අයිති නම් ඒ පාර්ශ්වය භාර සත් කෝරලේ අනුනායක උන්නාන්සේගේ පන්සලට ඔහු යැවිය යුතුය.


එහිදී ඒ අනුනායක උන්නාන්සේ විසින් හිරකාරයාගේ සිවුරු අස් කරනු ලැබේ. මේ පිළිබඳ තොරතුරු මහනුවර මහානායක උන්නාන්සේ වෙත සැල කරන ලෙස එතුමන්ට දැන්විය යුතුය. මින්පසු දඬුවමේ ඉතිරි කොටස ක්‍රියාත්මක කරනු ලැබේ.


(ජෝන් ඩොයිලිගේ 'සිංහලේ ආණ්ඩු ක්‍රමය පිළිබඳ ලුහුඬු සටහන්')

මේ කතා ගැන බලන විට දැන් සුද්දොත් නොකළ දෙයක් ආණ්ඩුව කර ඇත. එය බන්ධනාගාරයේදී කළද බන්ධනාගාර නිලධාරින්ට එවැනි දෙයක් කිරීම ඕනෑකමක් තිබුණු බවක් පෙනෙන්නට නැත. එසේ නම් එය මින් පෙරද හිරේ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට කරන්නට තිබුණි. සිවුරු ගැලවුවද, බන්ධනාගාර නිලධාරින්ට තවමත් උන්වහන්සේ භික්ෂුවකි. ‘‘හාමුදුරුවෝ’’ යනුවෙන් බන්ධනාගාර නිලධාරින් උන්වහන්සේ ප්‍රසිද්ධියේම අමතන්නේ ඒ නිසාය.

 

More News..