Best News Website award
brand logo
logo
අඛණ්ඩව 19 වැනි වරටත් පැවැත්වෙන Prima වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලිය

අඛණ්ඩව 19 වැනි වරටත් පැවැත්වෙන Prima වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලිය

26 November 2026


කොළඹ, ශ්‍රී ලංකාව, 2026 නොවැම්බර් 25: ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ දක්ෂතා සංවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන ප්‍රීමා වසස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලිය (Prima Under-15 Sri Lanka Youth League 2026) සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට Ceylon Agro Industries Ltd., Prima Group Sri Lanka ආයතනය අඛණ්ඩව 19 වැනි වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව සිටියි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රීඩක සංවර්ධන වැඩසටහන (National Pathway Programme) යටතේ සංවිධානය කෙරෙන මෙම තරගාවලිය, යොවුන් ක්‍රීඩකයින්ට ජාතික මට්ටමේ තරගාවලියක් තුළ සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටත්, ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ මට්ටම් කරා ගමන් කරමින් අනාගතයේදී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර ගැනීමටත් වැදගත් වේදිකාවක් සපයයි.


පන්දුවාර 50 තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් පහ සහභාගී වන අතර, මෙම තරග නොවැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා කොළඹ ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වීමට නියමිතය. අවසන් පූර්ව තරග දෙසැම්බර් 03 වැනිදා පැවැත්වෙන අතර, අවසන් මහා තරගය දෙසැම්බර් 05 වැනිදා කොළඹ MCA ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවිකරණ අංශ ප්‍රධානී, උපුල් නවරත්න බණ්ඩාර මහතා සඳහන් කළේ, තරුණ ක්‍රීඩකයින්ට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට අවස්ථාව සලසා දීම තුළින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.


මෙම ක්‍රියාවලියේ වැදගත් අංගයක් වන Prima Under-15 Sri Lanka Youth League තරගාවලිය, ක්‍රිකට් දක්ෂතා හඳුනා ගැනීමටත්, අනාගත ක්‍රිකට් ක්‍රීඩකයින් පෝෂණය කිරීමටත් දායක වන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2007 වසරේ සිට මෙම තරගාවලියේ නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන Ceylon Agro Industries Ltd., Prima Group Sri Lanka ආයතනය, මෙරට පහළම මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ දක්ෂ යොවුන් ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන් සංවර්ධනය කිරීම වෙනුවෙන් අඛණ්ඩව සිය දායකත්වය ලබා දෙයි.

චරිත් අසලංක, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස් සහ වනිඳු හසරංග ඇතුළු ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලිය ඔස්සේ සිය ක්‍රිකට් දක්ෂතා ඔප්නංවා ගනිමින් ඉදිරියට පැමිණීම එහි සාර්ථකත්වයට නිදසුනකි.


මේ පිළිබඳව අදහස් දක්වමින් Ceylon Agro Industries Ltd., Prima Group Sri Lanka ආයතනයේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, මෙරට ක්‍රිකට් දක්ෂතා හඳුනා ගැනීම සඳහා Prima Under-15 Sri Lanka Youth League තරගාවලිය වැදගත් වේදිකාවක් බවට පත්ව ඇති බවයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ පවත්වාගෙන යන දිගුකාලීන හවුල්කාරිත්වය සහ මෙරට පහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවට සහාය දැක්වීමට ලැබීම පිළිබඳව Ceylon Agro Industries Ltd., Prima Group Sri Lanka ආයතනය ආඩම්බර වන බවත්, මෙම තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික තලයේ ක්‍රීඩකයින් බවට පත්වීම සතුටට කරුණක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා දිගුකාලීන දායකත්වයක් ලබාදෙන Prima Under-15 Sri Lanka Youth League තරගාවලිය, දක්ෂ ක්‍රීඩකයින්ට සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමටත්, ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් පදනමක් ගොඩනගා ගැනීමටත් අවස්ථාව සලසයි.


මෙවර තරගාවලිය ද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මීළඟ පරපුරේ දක්ෂතා හඳුනාගැනීම සහ සංවර්ධනය කිරීම සඳහා වැදගත් වේදිකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



 

More News..