අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක්
18 February 2026
අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක්
18 February 2026
තලංගම, අකුරේගොඩදී නීතීඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අද (18) නැවත වතාවක් කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කළේය.
එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි අතර, අද දිනයේදීත් සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී නොසිටීම විශේෂත්වයක්.
අනතුරුව තමන්ට අධිකරණය වෙත කිසිවක් පැවසීමට අවශ්‍ය දැයි මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් විමසා ඇත.
එම අවස්ථාවේදී තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සැකකරුවන් මහෙස්ත්‍රාත්වරාට දැනුම් දුන් බැවින්, එම ප්‍රකාශය මහෙස්ත්‍රාත් නිල මැදිරිය තුළදී ලබා ගැනීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේය.
පසුව සැකකරුවන් දෙදෙනා මාර්තු 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියම කළේය.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනවලදී වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ චෝදනාවට අදාළව මෙම සොහොයුරන් දෙදෙනා කොට්ටාවේදී අත්අඩංගුවට පත්විය.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඊයේ පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී මෙම 'පොල්ගස්ඕවිට ඩිලා' අත්අඩංගුවට ගැනුණි.
ඒ අනුව 'ඩිලා' නැමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර ලබාගෙන තිබේ.

