brand logo
logo
ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දෙයි

ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දෙයි

23 October 2026


බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ගමන් කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කරමින් විශේෂ අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.


උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ දැනට නිර්මාණය වී ඇති නව අඩු පීඩන කලාපය ඉදිරි පැය කිහිපය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


ඉන් අනතුරුව මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වීමට ඉඩ පවතී.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔක්තෝබර් 26 වන දින උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව මෙම පද්ධතිය සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.


මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී ඇත. එමෙන්ම, දැනට එකී මුහුදු ප්‍රදේශවල යෙදී සිටින ප්‍රජාවන්ට වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසට ද උපදෙස් ලබා දී තිබේ.


ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඉදිරියට නිකුත් කරන නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

More News..