brand logo
logo
22වන සංශෝධන ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්

22වන සංශෝධන ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්

30 August 2026


22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙට (31) දිනයෙන් අවසන් වෙයි.


මේ වන විට පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති බව සඳහන් වෙයි.


22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18වන දින අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.


විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනුකළ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු නීතීඥ සංගම් කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් ද ඊට එරෙහිව පෙත්සම් ගොනුකර තිබේ.


ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ඇතුලු තවත් පාර්ශ්ව කිහිපයක් පනත් කෙටුම්පතට පක්ෂව පෙත්සම් ගොනුකර ඇති බව සඳහන් වෙයි.


මේ අතර හෙට දිනයේදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනුකර ඇති සියලු පාර්ශ්වකරුවන් විසින් විශේෂ මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්යය ජී.එල් පීරිස් මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.


"හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරනවා සියලුම පෙත්සම්කරුවන්. සියලුම පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් තීරණය කරන්න බෑ. ඒ මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට කෙලින්ම මේකෙන් වාසියක් ලැබෙනවා. තමන්ගේ නඩුව තමන්ට අහන්න බැරිය කියන මූලික සිද්ධාන්තයම මේකෙන් අමු අමුවේ උල්ලංඝනය වෙනවා. ඒ නිසා මේක ජනතාවට යොමු කරන්න ජනතා අධිකරණයට. මේ රටේ පරමාධිපත්‍ය තියෙන්නේ ශ්‍රී ලංකා ජනතාවට. ඒ නිසා ජනමත විචාරණයක් පවත්වන්න. මේක කරන්නද නැද්ද කියලා ශ්‍රී ලංකා ජනතාවගෙන් අහන්න"


 

 

More News..