අද පැරැදුණොත් තවත් අමිහිරි වාර්තාවක්
25 November 2025
අද පැරැදුණොත් තවත් අමිහිරි වාර්තාවක්
25 November 2025
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකව සහභාගි වන තෙවැනි තරගය අද (25 වැනිදා) සිම්බාබ්වේ සමගින් රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහි අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට නම් මෙම තරගය අනිවාර්යයෙන් ජය ගත යුතුව ඇත.
යම් හෙයකින් මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවහොත් සියලු ආකෘතිවල ක්‍රිකට් තරග 700ක් පරාජයට පත් වූ ලොව 4වැනි කණ්ඩායම බවට ද පත් වීමේ අවස්ථාව පවතියි. එසේම පාකිස්තානය ද ශ්‍රී ලංකාව මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරග 699ක් පරාජයට පත්ව සිටින අතර යම් හෙයකින් අනිද්දා (27 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකාව සමග තරගය ඔවුන් පරාජයට පත් වුවහොත් ඔවුන් ද එම කඩයිමට ළඟාවනු ඇත.
මේ වන විට පාකිස්තානය තමන් තරග වැදුණු තරග තුනම ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ඇති අතර, සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජය කළ හෙයින් ප්‍රසාද ලකුණු සටහනෙහි දෙවැනි ස්ථානය ලබා ඇත. සියලු තරග පරාජයට පත් වෙමින් අවසන් ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාව මේ වන විට හිමිකර ගෙන ඇති දළ ලකුණු වේගය -2.679කි. තවද එක් තරගයක් පමණක් ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇතත්, එසේ වීමට නම් අනෙක් තරගය අනිවාර්යයෙන් වැඩි ලකුණු පරතරයක් රඳවා ගනිමින් ජය ගත යුතුය.
ශ්‍රී ලංකාව තමන් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 5ම පරාජයට පත් ව ඇති අතර ඔවුන් අවසානයට ජයගෙන ඇත්තේ ආසියානු කුසලාන මූලික වටයේ ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයයි. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පේන මානයේ සිටිය ද තවමත් කණ්ඩායමේ ක්‍රීඩකයන් තෝරාගැනීමට ශ්‍රී ලංකා පරිපාලනය අපොහොසත් වීම පිළිබඳව ද ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙමින් පවතී.
බොහෝ දුරට අද තරගය සඳහා පෙර තරගයේ ක්‍රීඩා කළ කණ්ඩායමම තරග වදිනු ඇත.

