බෝතල් කළ පානීය ජලය වැඩි මිලට වික්කැයි ජල ක්රීඩා ආයතනයකට ලක්ෂ පහක් දඩ
14 October 2026 | ගයාත්රි ගීගනආරච්චි
බෝතල් කළ පානීය ජලය වැඩි මිලට වික්කැයි ජල ක්රීඩා ආයතනයකට ලක්ෂ පහක් දඩ
14 October 2026 | ගයාත්රි ගීගනආරච්චි
උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් හංවැල්ල, කළුඅග්ගල පිහිටි විනෝද ජල ක්රීඩා ආයතනයකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවකදී, අදාළ සමාගමට එරෙහිව රුපියල් 500,000/-ක (රුපියල් ලක්ෂ පහක) දඩ මුදලක් නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කරන ලද වැටලීමකදී, දේශීයව බෝතල් කළ මිලිලීටර් 500ක පානීය ජල බෝතලයක් නියමිත උපරිම සිල්ලර මිල වන රු. 80/- ඉක්මවා රු. 100/-කට අලෙවි කර ඇති බව අනාවරණය කර ගෙන තිබේ.
ඒ අනුව, නියමිත උපරිම සිල්ලර මිලට වඩා රු. 20/-ක වැඩි මුදලක් අය කරමින් පානීය ජල බෝතලයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් එම ආයතනයට එරෙහිව අවිස්සාවේල්ල මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
වෙළෙඳසලකින් පමණක් නොව, ආපනශාලාවකින්, හෝටලයකින් හෝ විනෝද උද්යානයකින් භාණ්ඩ මිලදී ගැනීමේදී පවා අදාළ භාණ්ඩයට නියම කර ඇති උපරිම සිල්ලර මිල පිළිබඳ සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

