brand logo
logo
 ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්

22 July 2026 | හැටන් රංජිත් රාජපක්ෂ


කොටගල ප්‍රාදේශීය සභාවේ ඊරොස්ට් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගනේශන් රාජේන්ද්‍රන් මහතාට ජාතික ජන බලවේගයේ කොටගල ප්‍රදේශයේ සංවිධායක සහ ආධාරකරුවෙකු කොටගල නගරයේදි පහර දුන් බව පවසමින් එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කොටගල ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.


ජාතික ජන බලවේගයේ කොටගල ප්‍රදේශයේ සංවිධායක සහ ඔහුගේ ආධාරකරුවෙකු විසින් තමන් මෝටර් රථයෙන් (21) දින සවස නිවස කරා යමින් සිටියදී කොටගල නගරයෙදි තම මෝටර් රථය හරස් කර නතර කර එම දෙදෙනාම තමන්ට පහර දී තුවාල සිදු කළේ යැයි පවසමින් මන්ත්‍රීවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


මෙම පහර දීම (21) දින පස්වරු 3:00ට පමණ කොටගල නගරයේදි තම මෝටර් රථය තුලදි සිදු කර මෝටර් රථයේ යතුර ජාතික ජන බලවේගයේ සංවිධායක සහ ආධාරකරුවා විසින් රැගෙන ගියේ යැයි පවසමින් එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දිඹුල පතන පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර ඇත.


කොටගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ උප සභාපතිනියට තමන් සභාව තුලදී බැන වැදීම නතර කරන ලෙස බල කරමින් තමන්ට පහර දුන් බවයි එම මන්ත්‍රීවරයා කියා සිටියේ.


තවද (21) දින පස්වරුවේ සැකකරුවන් දෙදෙනා කොටගල නගරයේ පිහිටි තම නිවසට ගොස් මෙම සිද්ධිය පොලිසිය වෙත පැමිණිලි කලහොත් මීට වඩා දේවල් වලට ඉදිරියෙදි මුහුණ පෑමට සිදු වන බව තරයෙ මතක තබා ගන්නා ලෙසට එම සැකකරුවන් දෙදෙනා බිරිදට තර්ජනය කර ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.


පහර දුන්නේ යැයි කියන සැකකරුවන් දෙදෙනා අදාළ මන්ත්‍රිවරයා තමන්ට පහර දුන් බව පවසමින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, එම සැකකරුවන් තිදෙනා රෝහලෙන් බැහැර වීමෙන් පසු එම සැකකරුවන් තිදෙනාට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

 

More News..