සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්
26 November 2026
සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්
26 November 2026
මෙරට සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ උක් කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමකට ඊයේ (25) අත්සන් තබා තිබේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී ගිවිසුමට අත්සන් තැබීම සිදුකෙරිණි.
ඒ අනුව, මාස 36ක කාලයක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත උක් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදල අමෙරිකානු ඩොලර් 536,046කි.
බ්‍රසීල රජයේ ප්‍රධාන මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා බ්‍රසීල සහයෝගීතා නියෝජිතායතනය සහ සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය මඟින් සෘජු තාක්ෂණික හා පර්යේෂණ සහාය ලබාදීමට නියමිතය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය සීනි ප්‍රමාණයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම හේතුවෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ගලා යයි. එබැවින් දේශීය සීනි නිෂ්පාදනය ඉහළ නංවා ආනයන මත පවතින යැපීම අවම කිරීම සහ විදේශ විනිමය ඉතිරි කර ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වී තිබේ.
දේශීය උක් කර්මාන්තය තුළ පවතින අඩු ඵලදායීතාව, සීනි ප්‍රතිසාධන අනුපාතය පහළ මට්ටමක පැවතීම සහ ඉහළ නිෂ්පාදන පිරිවැය වැනි ගැටලු සඳහා විසඳුම් සෙවීමට ද මෙහිදී අපේක්ෂා කෙරේ.
ඒ සඳහා ලොව ප්‍රමුඛතම උක් නිෂ්පාදකයෙකු වන බ්‍රසීලය සතු නවීන කෘෂිකාර්මික ක්‍රමවේද, පර්යේෂණ දැනුම සහ තාක්ෂණික හැකියාවන් මෙරට උක් කර්මාන්තය වෙත හඳුන්වා දීමට නියමිතය.
එමෙන්ම පුහුණු වැඩසටහන් සහ දැනුම හුවමාරු කර ගැනීම තුළින් උක් කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ තාක්ෂණික දැනුම හා කුසලතා වර්ධනය කිරීම ද මෙම සහයෝගීතාවයේ තවත් අරමුණකි.
උක් අතුරු නිෂ්පාදන ඵලදායී ලෙස යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, දේශීය ගොවීන්ට සහ කර්මාන්තකරුවන්ට නව ආර්ථික අවස්ථා උදාකර දීම මෙන්ම ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම ද මෙම ව්‍යාපෘතිය හරහා අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති ජෝර්ජ් ජෙරාල්ඩෝ කාද්රි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


