කාර්ඩිෆ් පිටියේදී හමුවූ උක්කුලන්කුලමේ 'රන් හදවත්'
20 September 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ වේල්සයේ සිට...
කාර්ඩිෆ් පිටියේදී හමුවූ උක්කුලන්කුලමේ 'රන් හදවත්'
20 September 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ වේල්සයේ සිට...
“අපි වවුනියාවෙනුත් එහා. මන්නාරම් පාරෙන් ගිහින් තමයි උක්කුලන්කුලම කියන අපේ ගමට යන්න තියෙන්නේ. අපි දෙන්නා එක වසරේ සිට උසස් පෙළ අවසන් වෙනතුරුම එකම පන්තියේ එකට හිටිය හොඳම යාළුවො දෙන්නා. අපි දෙන්නටම තිබුණේ ක්‍රිකට් පිස්සුවක්. අපි ගියේ වවුනියාව විපුලානන්ද විද්‍යාලයට. අපිට ක්‍රිකට් ගහන්න පුළුවන් පිට්ටනියක් තිබුණේ නැහැ. නමුත් අපේ ඉස්කොලෙ හාඩ් බෝල් ක්‍රිකට් තිබුණා. අපි දෙන්නම හාර්ඩ් බෝල් ක්‍රිකට් වගේම සොෆ්ට් බෝල් ක්‍රිකට් දෙකම ගැහුවා. අපිට පහසුකම් වගේම සුදුසුකම් තියෙන පුහුණුකරුවෝ නැතිවුණත් අපි ක්‍රිකට්වලට කැපවුණා. 2013 අවුරුද්දේ සොෆ්ට්බෝල් ක්‍රිකට්වලින් අපි පළාත් ශූරයො වුණා.
ඒ දවස්වල අපි දෙන්නට හීනයක් තිබුණා අපි දෙන්න එක්ක ගිහින් ශ්‍රී ලංකාව සෙල්ලම් කරන ඉන්ටර්නැෂනල් ක්‍රිකට් මැච් එකක් බලන්න. ඒත් කවදාවත් ඒ අවස්ථාව අපිට ලැබුණේ නැහැ. නමුත් අද අවුරුදු ගණනාවකට පස්සේ අපි දෙන්නගෙ ඒ හීනේ හැබෑවෙනවා. අපි දෙන්නම එකම තැනක ඉඳගෙන අපේ ටීම් එකට චියර් කරනවා. පුදුමයි... ලංකාවෙදි අපි දැකපු හීනේ, අවුරුදු ගණනාවක් ගිහින් වේල්සයෙදි හැබෑ වෙනවා“
මා හමුවේ එසේ පැවසූ මේ තරුණයන් දෙදෙනා මට සම්මුඛ වනුයේ වේල්සයේ කාර්ඩිෆ් හී ග්ලැමෝගන් ක්‍රීඩා සමාජයට අයත් ‘සොෆියා ගාර්ඩ්න්‘ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් අභියසදීය. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර දෙවැනි පන්දුවාර 20 තරගය ඇරැඹීමට යෙදී තිබියදී, සිංහ ලකුණ සහිත ශ්‍රී ලංකාවේ ලාංඡනය මුද්‍රිත, සාටක පැලඳ, කල් ඇතිවම තරගය නැරැඹීමට පැමිණ සිටි මෙම තරුණයන් දෙදෙනා, එහි රැඳී සිටි සුවහසක් ශ්‍රී ලාංකිකයන් අතරින් විශේෂ වී පෙනුනු නිසාම ඔවුන් හා මා පිළිසඳරකට හේතු සකස්විය.
අයෙක් නමින් රංචිදන්. අනෙකා නමින් විදුනන් ය.
විදුනන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිය උපාධිය ලබා වැඩිදුරටත් අධ්‍යාපනය පිණිස එංගලන්තයට පැමිණ ඇත. රංචිදන් ද එංගලන්තයේදී උසස් අධ්‍යාපනය හදාරා දැන් සිවිල් ඉංජිනේරුවෙකි.
රංචි එවක තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. විදුනන් කඩුලු රකින පිතිකරුවෙකි. දෙදෙනාම වමත් පිතිකරුවන්ය. තමන්ට ක්‍රිකට් යටිතලයක් නොවූවද, සියලු බැරි අමාරුකම්, ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරයෙන්ම යටපත් කර එවක තමන් ක්‍රීඩකයන් ලෙසින් මේ සොදුරු ක්‍රීඩාව වින්දනය කළ අයුරු ඔවුහු මා හමුවේ ස්මරණය කරති.
'අපි අවුරුදු 14ක් තිස්සේ ප්ලෑන් කළා ඉන්ටර්නැෂනල් මැච් එකක් එකට ඉඳගෙන බලන්න. අවුරුදු ගාණකට පස්සේ අද ඒ දවස ආවා. එදා අපි ක්‍රිකට්වලට ඒ තරම් පිස්සු වැටුනේ එදා අපි ලෝකයේ ඉහළින්ම දක්ෂතා තියෙන කණ්ඩායම් වෙලා ඉඳපු නිසයි. එදා අපි පන්දුවාර 20 ලෝක ශූරයො වෙනවා අපි දැක්කා. අද අපි පන්දුවාර 20 දක්ෂතා අතින් ඉන්නේ බොහොම පහළ. ඒත් අපිට අපේ රටේ ක්‍රීඩාවට තිබෙන ආදරේ පොඩ්ඩක්වත් අඩුවෙලා නැහැ. අපි දිනුවත් පැරදුනත් අපිට එදත් අදත් මේ අපේ රට. අපේ රටේ කණ්ඩායම මේ සිංහ ලකුණ තියෙන ෂෝල් එකත් දාගෙන, ලංකාවට සපෝර්ට් කරන පිරිස අතරෙ ඉන්නකොට අපූරු සතුටක් දැනෙනවා. මට මේ ලාංඡනය (ශ්‍රී ලංකා ජාතික ලාංඡනය පෙන්වමින්) දකිනකොට පවා එන්නෙ අමුතුම ජවයක්. ඒක දරාගෙන අපේ මැච් එකක් බලනවා කියන්නේ වෙනම හැඟීමක්"
"අපේ අය මේ මැච් ඔක්කොම පැරදුනත්, අපි දෙන්න ඉතිරි හැම තරගයක්ම බලන්න යනවා. අපිට දෙන්න පුළුවන් සහයෝගය දිරිගැන්වීම අපි දෙනවා"
සොඳුරු මිනිසුන් රුදුරු කරමින් එකිනෙකා බෙදෙන සේ රටක් තුළ ඇඳෙන ජාති ආගම් කුල මල ආදී ඉරි මකාදමා, එකම ධජයක් යට මිනිසුන් හදවතින්ම එක්සේසත් කළ හැක්කේ නම් ඒ ක්‍රීඩාවටම පමණි.
යුද්ධයේ වෙඩි හඬ ඇසෙන මායිමෙන් පැමිණ, අතීත කටුක මතක ගැන නොතැවී, සිංහයා ආදරයෙන් තුරුලු කරගනිමින්, පරජයන් පිට පරාජයන් හමුවේ වුව හැර නොයා, රටට ජයම පතන හදවතින් ශ්‍රී ලාංකේය මේ පුත්‍රයන් දෙදෙනා පවසනුයේ එය නොවෙද...

