brand logo
logo
පෙරහැරක කාවඩි නටමින් සිටි තරුණයකු මියයයි

පෙරහැරක කාවඩි නටමින් සිටි තරුණයකු මියයයි

20 October 2026 | අනුරාධ ප්‍රියදර්ශන - අම්බලංගොඩ


බූස්ස ප්‍රදේශයේ රාත්‍රී පෙරහැරක කාවාඩි නටමින් සිටියදී හදිසියේ අසනීපව රෝහල් ගත කළ විසිතුන් හැවිරිදි තරුණයකු ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (19) දින මිය ගිය බව රත්ගම පොලීසිය පවසයි.


මෙසේ මියගොස් ඇත්තේ රත්ගම කටුදම්පේ පදිංචි නදීෂ මධුසංක නමැති විසිතුන් හැවිරිදි තරුණයකි.


ඔහු බූස්ස ප්‍රදේශයේ විහාරස්ථානයකින් සංවිධානය කොට පෙරේදා (18) රාත්‍රියේ වීථි සංචාරය කළ පෙරහරක කාවාඩි ශිල්පියෙකු ලෙස එම පෙරහරට සහභාගිවී ඇති බවත් එහිදී කාවාඩි නටමින් සිටියදී මේ තරුණයා හදිසියේම රෝගාතුරවී කරාපිටිය රෝහල ඇතුළත් කළ බවත් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුව මිය ගිය බවත් පොලීසිය කියයි.


මිය ගිය තරුණයා රත්ගම ප්‍රදේශයේ ජනප්‍රිය කාවාඩි නැටුම් ශිල්පියෙකු වූ බවත් ඔහුගේ මේ ජනප්‍රියතාවය නිසාම පෙරහරවල් වලට කාවාඩි නැටීමට ඇරයුම් ලැබෙන බවත් එබැවින් මෙය ඔහු කාවාඩි නැටූ පළමු පෙරහර නොවන බවත් ඔහුගේ මිතුරකුවූ මධුරංගන කුමාර මහතා කීවේය.


මෙවැනිම ආකාරයට ගිය වසරේ(2025)අම්බලන්ගොඩ පැවති දිවා පෙරහරක කාවාඩි නටමින් සිටි දහඅට හැවිරිදි ඇත්කඳුරේ තරුණයෙක්ද හදිසියේ අසනීපවී මිය ගිය බවද පොලීසිය කියයි.


බූස්ස ප්‍රදේශයේ පෙරහරකදී කාවාඩි නටන්න ගොස් හදිසියේම අසනීපවී මිය ගිය විසිතුන් හැවිරිදි තරුණයාගේ මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතය.


රත්ගම පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

More News..