ගැටලුවලට විසඳුම් නැතොත් සුරාබදු ආදායම අඩුවේවි
23 July 2026 | •ශිරාන් රණසිංහ
ගැටලුවලට විසඳුම් නැතොත් සුරාබදු ආදායම අඩුවේවි
23 July 2026 | •ශිරාන් රණසිංහ
තම සමාගම් මුහුණ දී සිටින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් වසර දෙකක් පුරා විසඳුම් ලබාදී නොමැති බැවින් එම ගැටලු විසඳුම් නොදුන්නොත් රජයට ලැබෙන සුරාබදු ආදායම් තවදුරටත් අඩුවී බරපතළ අර්බුදයක් ඇති වනු ඇතැයි ප්‍රධාන පෙළේ මත්පැන් හා බියර් සමාගම් ඊයේ (22 වැනිදා) සුරාබදු දෙපාර්තමේන්තුවට අනතුරු අඟවා ඇත.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඊයේ (22 වැනිදා) පැවැති සාකච්ඡාවකදී මත්පැන් හා බියර් සමාගම්වල ප්‍රධානීන් මේ බව පවසා ඇත.
මේ වන විටත් ප්‍රධාන පෙළේ එවැනි සමාගමකින් ලැබෙන බදු ආදායම් අඩු වී ඇති බැවින් ඊට හේතු කවරේදැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සමාගම් ප්‍රධානින්ගෙන් එහිදී විමසා තිබේ.
මෙහිදී මත්පැන් සහ බියර් නිෂ්පාදන සමාගම්වල ප්‍රධානීන් කියා ඇත්තේ තමන් මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් නොදීම හේතුවෙන් මෙරට තිබූ නිෂ්පාදන අංශ කිහිපයක් ඉන්දියාව ඇතුළු විදෙස් රටවලට සිය නිෂ්පාදන කර්මාන්ත ශාලා ගෙන ගොස් ඇති බවයි. තවද එම රටවල් අවශ්‍ය පහසුකම් ලබාදී ඇතැයිද එම ව්‍යාපාර සාර්ථක වී නිෂ්පාදන වෙනත් රටවලට අලෙවි කිරීමටද හැකි වී ඇතැයිද එම සමාගම්වල ප්‍රධානීන් පෙන්වා දී ඇත.
මත්පැන් හා බියර් නිෂ්පාදන සමාගම් මෙහිදී කියා ඇත්තේ දැනටමත් සුරාබදු ආදායම් අඩු වී ඇත්නම් ඉදිරියේදී එය තවත් කඩා වැටීමට ලක්වනු ඇති බවයි.
පවතින ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට විසඳුම් ගෙන ඒමට කමිටුවක් පත්කරන බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සමාගම්වලට එහිදී පොරොන්දු වී ඇත.

