ජනවාරි පළමුවැනිදායින් පස්සේ හිතුමතේට ඇමතුම් දෙන්න බෑ එස්.එම්.එස්. - වට්ස්ඇප් ඊමේල්වලටත් අලුත් නීතිය අදාළයි
28 November 2026 | ජයසූරිය උඩුකුඹුර
ජනවාරි පළමුවැනිදායින් පස්සේ හිතුමතේට ඇමතුම් දෙන්න බෑ එස්.එම්.එස්. - වට්ස්ඇප් ඊමේල්වලටත් අලුත් නීතිය අදාළයි
28 November 2026 | ජයසූරිය උඩුකුඹුර
‘‘........... සර් නේද?’’
‘‘ඔව්...’’ අතිශය කාර්යබහුල වෙලේ ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූවේය.
‘‘මම කතා කරන්නේ...... රක්ෂණ සමාගමෙන්. අපේ නව රක්ෂණය ගැන දැනුවත් කරන්න තමයි සර්ට කතා කළේ.’’ යනුවෙන් ඇමතුම ගත් තරුණිය කීවාය.
‘‘මට රක්ෂණයක් අවශ්‍ය නෑ’’ යනුවෙන් ජංගම දුරකථන හිමිකරු ඇමතුම විසන්ධි කළේ තරහෙනි.
ජංගම දුරකථනයන් භාවිත කරන අයට ලැබෙන අටොරාශියක් ඇමතුම් හා පණිවුඩ අතරේ තමන්ට කිසිදු අදාළත්වයක් නැති මෙවැනි ඇමතුම් ලැබෙන බවට ඔබත් අත්දැකීම් ඇති බවට සැක නැත. ඇමතුම් පමණක් නොව වැදගැම්මක් නැති එස්.එම්.එස්. හා වට්ස්ඇප්වලින් ද අඩුවක් නැත. සමහර දිනවල ලැබෙන ඇමතුම් ගණන දුසිම් ගණනකි.
මෙසේ ඇමතුම් ලැබෙන විට ජංගම දුරකථනයේ හිමිකරුට ඇති වන්නේ එකම එක ප්රශ්නයකි. ඒ තම ජංගම දුරකථන අංකය අදාළ සමාගමට ලැබුණේ කෙසේද යන්නය. තම අනුදැනුම නැතිව දුරකථන අංකය පිටස්තරයන් අතරට යාම නිසා ලැබෙන ඇමතුම් හා එස්.එම්.එස්., වට්ස්ඇප් පණිවුඩ මහා කරදරයක් බවට පත්වී තිබේ. මේ කරදරයත් ජනවාරි පළමුවැනිදායින් පසු නිමාවන ලකුණු දැන් පහළ වෙමින් තිබේ. ඒ 2027 ජනවාරි1 වනදා සිට බලාත්මක වන දත්ත ආරක්ෂණ පනතේ පළමු හා තෙවන කොටස් බලාත්මක වන නිසාය. ඒ අනුව නැවැත ඔබට දුරකථනයට එන අනවශ්‍ය කෙටි පණිවුඩ වට්සප් පණිවුඩ හෝ ඊ මේල් පණිවුඩ සිමා වනු ඇත.
වර්තමාන ලෝකයේ තෙල් හෝ රත්රන්වලටත් වඩා වටිනාම සම්පත බවට පත්ව ඇත්තේ 'දත්ත' (Data) ය. අප උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රි නින්දට යන තෙක් භාවිත කරන ජංගම දුරකථන යෙදුම්, බැංකු ගනුදෙනු, රෝහල් වාර්තා, අන්තර්ජාල සාප්පු සවාරි සහ රාජ්‍ය ආයතන සමග කරන සෑම ගනුදෙනුවකදීම අපගේ පෞද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් හුවමාරු වේ. මෙම තොරතුරු අනිසි ලෙස භාවිත වීම වැළැක්වීමටත්, පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය නීත්‍යනුකූලව තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාව තැබූ ඓතිහාසික පියවරක් වන 2022 අංක 09 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ ප්‍රධානතම විධිවිධාන 2027 ජනවාරි 01 වැනිදා සිට නිල වශයෙන් බලාත්මක වේ.
ඒ අනුව 2027 ජනවාරි 01 වැනිදා සිට රටේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට අලුත් නීතිමය වගකීම් රැසකට යටත් වීමට සිදු වේ.
මෙම අදියරේදී දත්ත හිමියන්ගේ අයිතිවාසිකම් වරින් වර මෙම පනතේ අනෙක් කරුණුද බලාත්මක කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් දත්ත ආරක්ෂණ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් දිමුත් භාෂිත අතපත්තු කියන්නේ මෙම පනත අලුත් පනතක් නිසා ඒ පිළිබඳ රාජ්‍ය පෞද්ගලික යන ආයතන විධිමත් ලෙස දැනුවත් කරමින් පනතේ සඳහන් කරුණු සියල්ල බලාත්මක කරන බවය. මේ පනත මගින් පුද්ගලයන් ගේ නම ලිපිනය දුරකථන අංක හැඳුනුම් පත් අංක වගේම ඇඟිලි සලකුණු ශරීර වර්ණ හා ශරීර ස්වභාවය කියන මේ හැම දෙයක්ම ආරක්ෂා වෙනවා. රාජ්‍ය ආයතන වගේම පෞද්ගලික ආයතනත් පුද්ගලයන්ගෙන් ගන්න පෞද්ගලික දත්ත ආරක්ෂා කරන්න මේ පනත යටතේ බැඳී ඉන්නවා යැයිද ඔහු කීවේය.
නව විධි විධාන යටතේ කුඩා ව්‍යාපාරයක සිට මහා පරිමාණ බැංකු, රෝහල්, පාසල්, විශ්වවිද්‍යාල, රාජ්‍ය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු දක්වා පුද්ගලයන්ගේ තොරතුරු රැස් කරන හෝ ගබඩා කරන සෑම ආයතනයකටම අදාළ වනු ඇත. ව්‍යාපාරයේ ප්‍රමාණය කුඩා වුවද, පාරිභෝගිකයන්ගේ දුරකථන අංක, සේවක වැටුප් විස්තර හෝ ආරක්ෂක කැමරා (CCTV) දර්ශන පවත්වාගෙන යන්නේ නම් මෙම නීතිය අදාළ වන්නේය.
ශ්‍රී ලංකාවේ සිටින විදෙස් පුද්ගලයන්ට භාණ්ඩ හෝ සේවා සපයන හෝ ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන විදේශීය ඔන්ලයින් වෙෙළඳසල්, හෝටල් සමූහ සහ මෘදුකාංග සමාගම්ද මෙම පනත අනුව වැඩ කළ යුතුය.
2027 ජනවාරි 01 වැනිදා සිට පෞද්ගලික දත්ත සැකසීමේදී සෑම ආයතනයක්ම පනතේ I වන කොටසේ සඳහන් දැඩි මූලධර්මවලට අනුගත විය යුතුය. ඒ අනුව යම් පුද්ගලයකුගේ දත්ත රැස් කිරීමට පෙර ඒ සඳහා නීත්‍යනුකූල පදනමක් ගෙන තිබිය යුතුය. බොහෝ විට අදාළ පුද්ගලයාගේ පැහැදිලි කැමැත්ත ගැනීම හෝ ගිවිසුමක් ඉටු කිරීම සඳහා අත්‍යවශ්‍ය වීම මෙහිදී සලකා බැලේ.
එමෙන්ම දත්ත රැස් කළ යුත්තේ නිශ්චිත, පැහැදිලි සහ නීත්‍යනුකූල අරමුණක් සඳහා පමණි. එම අරමුණට පටහැනි වෙනත් කටයුතු සඳහා එම දත්ත භාවිත කළ නොහැක.
අදාළ කාර්යය ඉටු කිරීමට අත්‍යවශ්‍යම තොරතුරු ප්‍රමාණය පමණක් රැස් කළ යුතුය. අනවශ්‍ය ලෙස පුද්ගලයන්ගේ පෞද්ගලික විස්තර එකතු කිරීම මෙම පනතට අනුව නීති විරෝධී ලෙස සැලකේ.
ඒ ඒ ආයතනවල ගබඩා කර ඇති දත්ත නිවැරදිව සහ යාවත්කාලීනව තබා ගත යුතු අතර, අදාළ අරමුණ අවසන් වූ පසු එම දත්ත අනවශ්‍ය ලෙස තබා නොගෙන විනාශ කළ යුතුය.
වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ දත්ත, සෞඛ්‍ය වාර්තා, ජානමය සහ ජෛවමිතික තොරතුරු, ආගමික හෝ දේශපාලන මතවාද වැනි සංවේදී පෞද්ගලික දත්ත සැකසීමේදී විශේෂ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුය. තවද, මියගිය පුද්ගලයන්ගේ දත්ත පවා ඔවුන් මියගොස් වසර 10ක් යන තෙක් මෙම පනත යටතේ ආරක්ෂා වනු ඇත.
යම් හෙයකින් ආයතනයක් සතු පෞද්ගලික දත්ත පිටස්තර පාර්ශ්වයක් අතට පත් වුවහොත් හෝ ආරක්ෂාව බිඳ වැටුණහොත්, ඒ පිළිබඳව දත්ත ආරක්ෂණ අධිකාරිය (DPA) වෙත වහාම දැනුම් දීමට අදාළ ආයතනය බැඳී සිටින්නේය.
මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආයතන ආදර්ශමත් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් 2026 ජූලි මාසයේදී අංක 01/2026 දරන විශේෂ චක්‍රලේඛය සහ උපදෙස් මාලාව රාජ්‍ය ආයතන වෙත නිකුත් කර තිබේ. පුරවැසියන්ගේ උප්පැන්න, හැඳුනුම්පත්, ඉඩම් ඔප්පු, වෛද්‍ය වාර්තා සහ බදු තොරතුරු ඇතුළු අතිශය සංවේදී දත්ත රාජ්‍ය ආයතන සතුව පවතින බැවින්, 2027 ජනවාරි 01 වැනිදාට පෙර ඒවා සුරක්ෂිත කිරීමේ ක්‍රමවේද සකස් කරන ලෙස එමගින් උපදෙස් දී ඇත.
මෙම නීතිය බලාත්මක වීම හුදෙක් ආයතනවලට පනවන සීමාවක් පමණක් නොව, එය රටේ ආර්ථිකයට සහ පුරවැසියන්ට විශාල ප්රතිලාභ ගෙන දෙන්නක් බව දත්ත ආරක්ෂණ අධ්යක්ෂ ජනරාල් අතපත්තු පෙන්වා දෙන්නේය.
"තමන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂිත බවට පුරවැසියන් තුළ විශ්වාසයක් ගොඩනැගෙන විට ඩිජිටල් බැංකුකරණය සහ ඊ-වාණිජ්‍ය කටයුතු සඳහා ජනතාව වැඩි වශයෙන් යොමු වෙන්න පුළුවන්. එමෙන්ම යුරෝපයේ GDPR වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල දත්ත ආරක්ෂණ නීතියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම නිසා, විදේශීය තොරතුරු තාක්ෂණ සමාගම් සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (BPO) ආයතනවලට බියකින් තොරව ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමට අවස්ථාව සැලසෙනවා.
ඒ වගේම දුරකථන අංක සහ විද්‍යුත් තැපැල් ලිපින විවිධ පාර්ශ්ව වෙත අලෙවි කිරීම සහ අනවසරයෙන් පුද්ගලයන්ගේ තොරතුරු හුවමාරු කිරීම වැනි අයථා ක්‍රියා මේ පනතින් වැළකෙනවා. ඔබත් දන්නවා අපේ රටේ සෑම සුපර් මාකට් එකක වගේම සාමාන්‍ය වෙෙළඳසල්වල පවා පෞද්ගලික තොරකුරු ගන්නවා. මේ පනත අනුව දැන් එහෙම හිතු හිතු විදියට පෞද්ගලික තොරතුරු රැස් කරන්න බෑ. සමහර අවස්ථා පිළිබඳ අපට තොරතුරු ලැබිල තියෙනවා රෝහලේදි දරුවා බිහිකරලා ගෙදරට රැගෙන යන අතර මග දුරකථන ඇමතුම් ලැබෙනවා දරුවා රක්ෂණය කරන්න. එතකොට ඒ රක්ෂණ සමාගමට තොරතුරු ලැබුණේ කොහොමද? මේ විදියට රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගන්නා පෞද්ගලික තොරතුරු අවභාවිත වන අවස්ථා ගැන අප දැනුවත්ව ඉන්නවා. ලබන ජනවාරි පළමුදා සිට එවැනි තොරතුරු ගැනීම හා තොරතුරු භාවිතය නියාමනයට ලක්වෙනවා. මේ පනත යටතේ යම් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් වරදක් කළ බව ඔප්පු වුණොත් රුපියල් මිලියන දහයක් දක්වා දඬ නියම කරන්න පුළුවන්. ඒ වගේම ඒ වරද නැවැත නැවැත කරනවා නම් දඬ මුදල දෙගුණ තෙගුණ කරන්නත් අපේ දත්ත ආරක්ෂණ අධිකාරියට බලය තිබෙනවා. නමුත් මේ පනත අපේ රටට අලුත් පනතක් නිසා අදාළ ආයතනවලට ඊට අනුගත වෙන්න කාලයක් දී තිබෙනවා. ඒ කාලය තුළ සියලුම රාජ්‍ය පෞද්ගලික ආයතන මේ පනත ප්‍රකාරව කටයුතු කරන්න සූදානම් වෙන්න අවශ්‍යයි යැයිද ඔහු කීවේය.


