brand logo
logo
මණ්ඩලයේ වී තියෙන්නේ දින පහකට පමණයි

මණ්ඩලයේ වී තියෙන්නේ දින පහකට පමණයි

14 November 2025 | සාලිය කුමාර ගුණසේකර


රජයේ වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී තොගය ප්‍රමාණවත් වන්නේ මෙරට දින පහක සහල් අවශ්‍යතාව සපුරාලීමට පමණක් බව අනාවරණය වේ.


වී අලෙවි මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් හතළිස් නවදහස් හයසිය හතළිහක (49,640) වී තොගයක් මිලදීගෙන ඇත. මීට අමතරව ඉකුත් යල කන්නයට පෙර කන්නවලදී මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 56ක් ද මණ්ඩලය සතුව තිබෙන බවද පසුගිය කන්නවලදී කීරි සම්බා වී මෙට්‍රික් ටොන් 12ක තොගයක් ලැබී ඇතැයි ද එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පැවැසීය.


මේ අතර මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24 කි. එනම් මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. ඒ අනුව මෙරට දිනක සහල් අවශ්‍යතාව සහල් මෙට්‍රික් ටොන් හයදහස් පන්සියයකි.


එම සහල් ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට වී මෙට්‍රික් ටොන් දසදහසක් (10,000) අවශ්‍ය වේ. ඒ අනුව රටේ මාසික සහල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් අවශ්‍ය වනු ඇත.


මේ අනුව වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ රටේ දින පහක සහල් අවශ්‍යතාවය සපුරාලීමට පමණක් බව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ බලධාරීහු කියා සිටිති.


 

More News..