සමාජ මාධ්‍යයේ ක්ෂණික ණය ගැන පොලිසිය ජනතාවට අනතුරු අඟවයි
02 October 2026 | නිර්මාණි තිලකසිරි
සමාජ මාධ්‍යයේ ක්ෂණික ණය ගැන පොලිසිය ජනතාවට අනතුරු අඟවයි
02 October 2026 | නිර්මාණි තිලකසිරි
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජංගම දුරකථන යෙදවුම් (Mobile Apps) මාර්ගයෙන් ක්ෂණික ණය ලබා ගැනීමේදී, එහි කොන්දේසි සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් හා සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එලෙස ලබාගන්නා ණය ආපසු ගෙවීමේදී අධික පොලී අනුපාත අය කරමින් ගනුදෙනුකරුවන් දැඩි අපහසුතාවයට පත්කරන බවට ලද තොරතුරු මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
එම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ණය ලබාගන්නා පුද්ගලයින් අදාළ ආයතනවල කොන්දේසි පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ණය ලබාගැනීම හේතුවෙන් මෙලෙස අපහසුතාවලට මුහුණ දෙන බවයි.
එබැවින් යම් පුද්ගලයෙකු මාර්ගගත ක්‍රමය ඔස්සේ ණය මුදලක් ලබාගන්නේ නම්, අදාළ ආයතනය ඉදිරිපත් කර ඇති කොන්දේසි කෙරෙහි නිසි අවධානය යොමුකර, පූර්ණ අවබෝධයකින් යුතුව කටයුතු කිරීමෙන් සිදුවිය හැකි මූල්‍ය අලාභ හා අනවශ්‍ය අපහසුතාවයන් මඟහරවා ගත හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

