රජයේ වාහන තහනම් - ගත්තොත් දූෂණ විරෝධී පනතෙන් නඩු
28 November 2026
රජයේ වාහන තහනම් - ගත්තොත් දූෂණ විරෝධී පනතෙන් නඩු
28 November 2026
ඉස්සර මඟුලක් තුලාවක් කරගනිද්දී රාජ්‍ය සේවයේ නිරතවූවන්ට තිබුණේ ලොකු ඉල්ලුමකි. අද මෙන් ලක්ෂ ගණනින් නොසිටි රාජ්‍ය සේවයට බඳවා ගත්තේ ඉතාම සීමිත පිරිසකි. ඒ කාලයේ හැටියට රාජ්‍ය සේවකයන්ට ලොකු වැටුපකුත් ලැබුණේය. වැටුපකට පමණක් නොව විශ්‍රාම වැටුපකට හිමිකම් කීමද රාජ්‍ය සේවයට වැඩි ඉල්ලුමක් ඇතිවීමට හේතුවිය.
සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක් ලෙස සේවයට එක්වනවාට වඩා විධායක නිලධාරියෙක් ලෙස රාජ්‍ය සේවයට එක්වීම පහසුකම් රැසක් ගැනීමට පාර කැපුණේය. එදා මෙන්ම අදත් රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට ලැබෙන පහසුකම් සැලකිය යුතු තරමේ ඒවාය. රාජ්‍ය පරිපාලන සේවයට එක්වන නිලධාරියෙක්ට වසර කිහිපයකින් තමන්ගේ උසස්වීම් අනුව ලැබෙන පහසුකම්ද වැඩිවන්නේය. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ට ලැබෙන පහසුකම් අතරින් ඉහළින්ම තිබෙන්නේ නිල වාහනයට, රියැදුරෙක්ට සහ ඉන්ධන දීමනාවකට හිමිකම් කීමයි.
රාජ්‍ය සේවයේ ඉහළින්ම සිටින අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට පළමු ශ්‍රේණියේ නිලධාරීන් දක්වා නිලධාරීන්ට රජයේ වාහනයකට හිමිකමක් කියන්නේය. අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අධ්යක්ෂවරුන් ආදී වශයෙන් රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට මේ පහසුකම හිමිවන්නේය. කලින් නම් රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට තමන්ටම කියා වාහනයක් වෙන් කළේය. ඒ එක්දහස් නවසිය අනූ නමයේදී නිකුත් කළ චක්‍රලේඛයක් මගින්ය. එම චක්‍රලේඛය මගින් නිල වාහන හිමි නිලධාරීන් සහ ඔවුන්ට දෙන පහසුකම් ගැන සඳහන් කර තිබුණේය. ඔවුන් තමන්ගේ රාජකාරී කටයුතු සඳහා යොදාගන්නේ එම වාහනයයි. රජෙයන් වාහනයක් ගැනීම වෙනුවට තමන්ගේම පුද්ගලික වාහනයක් රජයේ නිල වාහනය වෙනුවට යොදාගැනීමේ අවස්ථාවද දැන් හිමිව තිබෙන්නේය.
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් ඇන්ටන් පෙරේරා සඳහන් කරන්නේ මෙසේ තමන්ගේ පුද්ගලික වාහනයක්, නිල වාහනයක් සේ භාවිත කිරීමට අවස්ථාව දුන්නේ එක්දහස් නවසිය අනූ නමයේදී ඉදිරිපත් කළ චක්‍රලේඛයක් මගින් බවය.
නිල වාහනයක් හිමි නිලධාරීන්ට එසේ තමන්ගේ පුද්ගලික වාහනය නිල වාහනය සේ භාවිත කිරීමට අවස්ථාව දෙද්දී පහළ නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් වෙනත් ක්‍රමවේදයක් භාවිත කර තිබුණේය. ඒ අනුව කාර්යාලයේ සිට නිවෙස්වලට යාමට එක් එක් මාර්ගවලට නිලධාරීන් සමූහයක් එක්කරමින් වාහන පහසුකම් දීමය. නුවර පාරේ ගමන් ගන්නා නිලධාරීන් පිරිසක් සිටී නම් සැලකිය යුතු දුරකට කාර්යාලයේ වාහනයකින් ප්‍රවාහන පහසුකම් දීමට කටයුතු කරන්නේය. විධායක ශ්‍රේණියේ පහළ නිලධාරීන් බොහෝ විට මෙම පහසුකම අත්විඳින්නේය.
“දෙදහස් අටේදී චක්‍රලේඛයක් මගින් නිල වාහනයක් හිමි නිලධාරීන්, රජයෙන් නිල වාහනයක් නොගෙන පුද්ගලික වාහනය නිල රාජකාරී කටයුතු සඳහා යොදා ගන්නේ නම් ඒ සඳහා දීමනාවක් දීමට චක්‍රලේඛයක් නිකුත් කළා. එම චක්‍රලේඛය මගින් වාහනය සඳහා රුපියල් තිස් දහසක දීමනාවක් දීමට කටයුතු කළා” ඇන්ටන් පෙරේරා සඳහන් කරන්නේය.
ඔහු සඳහන් කරන්නේ එකල රාජ්‍ය සේවයේ සිටි නිලධාරීන් ලීසිං පහසුකම් යටතේ වාහන ගත් බවය. නිල වාහනයක් වෙනුවට රුපියල් තිස් දහසක දීමනාව ගත් ඇතැම් නිලධාරීහු ලීසිං වාරිකයටත් ගෙවා තවත් මුදලක් අතේ ඉතිරි කර ගත්හ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු කාලයේදී නිල වාහනය වෙනුවට තමන්ගේ පුද්ගලික වාහනය භාවිත කිරීම වෙනුවෙන් මුදල් දුන්නේ රාජ්‍ය වියදම් අඩුකරගැනීමේ අරමුණ ඇතිවය.
“ආණ්ඩුවෙන් නිල වාහනයක් දුන්නාම, ඒ වාහනයේ නඩත්තුව අදාළ ආයතනයෙන් කළ යුතුයි. වාහනය සර්විස් කිරීමේ ඉඳල, ඉන්ෂුරන්ස් දීම, වාහන බලපත්‍ර අලුත් කිරීම, ටයර් මාරු කිරීමේ සිට සියලුම නඩත්තු කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම තමයි රියැදුරෙක් ඒ සඳහා අනුයුක්ත කිරීමට සිදුවෙනවා. අද වැටුප් තලය අරගෙන බැලුවාම රියැදුරෙක්ට රුපියල් හැට දහසක විතර වැටුපක් ලැබෙනවා. ඔවුන්ට දෙන අතිකාල, බටා දීමනා සමගින් රුපියල් ලක්ෂයක් විතර තවත් වියදම් කිරීමට වෙනවා. මේ වියදම් අඩුකරන්න තමයි රජයේ වාහන ගන්නවා වෙනුවට පුද්ගලික වාහන භාවිත කිරීමට අවස්ථාව දීලා තිබුණේ” ඇන්ටන් පෙරේරා සඳහන් කළේය.
නිල වාහනයක් වෙනුවට තමන්ගේ පුද්ගලික වාහනය භාවිත කරන නිලධාරීන්ට දෙන වාහන දීමනාව යළිත් ඉහළ දැමුවේ යහ පාලන ආණ්ඩු කාලයේදීය. රුපියල් තිස් දහසේ දීමනාව රුපියල් පනස් දහස දක්වා ඉහළ නංවනු ලැබුවේද චක්‍රලේඛයක මගින්ය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ කාලයේදී එය රුපියල් පනස් දහසේ සිට ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙන්නේය.
ආණ්ඩුවේ නිල වාහන හිමි නිලධාරීන්ට වාහනය පමණක් නොව ඉන්ධන දීමනාවක් ද හිමිවන්නේය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ඒ හා සමාන නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට මාසිකව ඉන්ධන ලීටර දෙසීය විසි පහක් හිමිවන්නේය. අතිරේක ලේකම් හෝ ඒ හා සමාන නිලධාරීන්ට මාසිකව හිමිවන්නේ ලීටර එකසිය හැත්තෑවක ඉන්ධන දීමනාවකි. දෙපාර්තමේන්තු ප්‍රධානීන් හෝ ඒ හා සමාන නිලධාරීන්ට මාසිකව ඉන්ධන ලීටර එකසිය හතළිහක් හිමිවේ. ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරුන්ට හිමිවන්නේ ලීටර එකසිය විස්සක දීමනාවකි. ඉන්ධන ලීටර ප්‍රමාණයක් ලැබෙනවා යැයි කීවත් සැබවින්ම වන්නේ අදාළ ඉන්ධන ප්‍රමාණයට සමාන වටිනාකමකින් මුදලක් ඔවුන්ගේ වැටුපට එකතුවීමය. මාසයේ පළමු දිනයේදී වෙළෙඳපොළේ ඇති ඉන්ධන මිල මේ සඳහා සලකා බලන්නේය.
මෑත කාලයේදී විදුලි වාහන ජනප්‍රියවීමත් සමගින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විදුලි වාහන භාවිත කරන නිලධාරීන් සඳහා ගෙවීම් කරන ආකාරය සඳහන් චක්රලේඛයක්ද නිකුත් කළේය. එම චක්‍රලේඛය අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්ට මාසිකව රුපියල් දහසයදහසක දීමනාවක් හිමිවන්නේය. අතිරේක ලේකම්වරුන්ට රුපියල් දොළොස්දහසකද, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට රුපියල් දස දහසකද දීමනාවක් හිමිවන්නේය. ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්ට හිමිවන්නේ රුපියල් අටදහස් පන්සියයක දීමනාවකි.
නිල වාහනයක් හිමි නිලධාරීන්ට තමන්ගේ වාහනය භාවිත කළත්, ආණ්ඩුව දෙන වාහනය භාවිත කළත් ඉන්ධන දීමනාව කිසිදු භේදයකින් තොරව වැටුපට එක්වන්නේය. තමන්ගේ වාහනයක් භාවිතකර වාහන දීමනාව ගැනීමේදී නම් රියැදුරෙක් ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත.
ආණ්ඩුවේ වාහනයක් ගන්නා නිලධාරීන්ට අනෙක් අයට නොමැති පහසුකමක් නම් ලැබෙන්නේය. ඒ රජයේ වාහනය තමන්ගේ පුද්ගලික කටයුතු සඳහා යොදා ගැනීමට ඇති හැකියාවයි. නිල වාහනය හිමි නිලධාරියා තමන්ගේ රාජකාරී කටයුතුවලට අමතරව පුද්ගලික කටයුතු සඳහා තමන්ගේ වාහනය භාවිත කරන්නේ නම් ඒ සඳහා පූර්ව අවසරයක් ගත යුතු වන්නේය. ඒ අවසරය අනුව පුද්ගලික කටයුතු සඳහා භාවිත කිරීම වෙනුවෙන් මුදලක් තමන්ගේ වැටුපෙන් ගෙවිය යුතු වන්නේය. දැනට තිබෙන තක්සේරුව අනුව එසේ රජයේ වාහනයක් පුද්ගලික කටයුතු සඳහා භාවිත කිරීමේදී මාසිකව අයකරන්නේ රුපියල් තුන්සියයක පමණ මුදලකි. එමෙන්ම රියැදුරා නොමැති අවස්ථාවකදී තමන්ට රජයේ වාහනය තනිවම භාවිත කිරීමේ අවස්ථාවද හිමිවන්නේය. ඒ සඳහා තමන්ගේ ප්‍රධානියාගෙන් පූර්ව අවසරයක්ද ගත යුතු වන්නේය.
“මේ වගේ අඩු මුදලකට මාසයකට පුද්ගලික කටයුතු සඳහා වාහනයක් අරගන්න බැහැ. පුද්ගලික කටයුතු සඳහා නිල වාහනය භාවිත කිරීමට අවසර දෙන්නේ චක්‍රලේඛවලට අනුව තමයි. ඒත් නිල කටයුතුද, පුද්ගලික කටයුතුද කියලා බලන්නේ නැතිව වාහනයේ නඩත්තුව අදාළ රාජ්‍ය ආයතනයට කිරීමට සිදුවෙනවා. ටයර් අලුතින් දැමීමට වෙනවා” ඇන්ටන් පෙරේරා සඳහන් කරන්නේය.
නිල වාහනයක් හිමි නිලධාරීන් රජයේ වාහනයක් නොගෙන තමන්ගේ පුද්ගලික වාහනය භාවිතකර ඒ සඳහා දීමනාව ගැනීමේදී රජයෙන් කිසිදු වෙනත් වියදමක් දරන්නේ නැත. වාහනයේ නඩත්තු කටයුතු සියල්ලම අදාළ දීමනාවෙන් ආවරණය කරගැනීමට වාහන හිමි නිලධාරීයාට සිදුවන්නේය.
ඔහු සඳහන් කරන්නේ මේ වන විට රජයේ වාහන සංචිතයේ ඇති වාහන බොහෝමයක් අබලන්ව තිබෙන බවය. මෑත කාලයේදී රජයේ සේවය සඳහා වාහන මිලදී නොගැනීම නිසා ඉතිරිව ඇති පැරණි වාහන නඩත්තුව සඳහා විශාල මුදලක් වැයකිරීමට සිදුව තිබෙන බවද ඔහු සඳහන් කරන්නේය.
“ජනතාවගේ බදු මුදල් තමයි මේවාට වැයකරන්න සිදුවෙලා තියෙන්නේ. එක් නිලධාරීයෙක් සඳහා වාහනයක් දෙන්න මාසිකව රුපියල් ලක්ෂ පහක විතර මුදලක් වියදම් කිරීමට සිදුවෙලා තිබෙනවා. දැන් අලුතින් වාහනයක් ලීසිං ක්‍රමයට ගන්නවා නම් ක්‍රම දෙකකට ගන්න පුළුවන්. එකක් තමයි ඔපරේෂන් ලීසිං කියලා හඳුන්වන ක්‍රමය අනුව ගැනීම. අනෙක තමයි ෆයිනෑන්ෂල් ලීසිං කියන ක්‍රමවේදය අනුව මිලදී ගැනීම. මේ මොන ක්‍රමවේදයෙන් වාහනයක් අරගත්තත් වාහනයක් සඳහා මාසිකව රුපියල් ලක්ෂ දෙකහමාරක්, තුනක් විතර ගෙවන්න සිදුවෙනවා. දැන් රජයේ සේවය සඳහා වාහනයක් මිලදී ගන්නත් රුපියල් කෝටි දෙකකට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදුවෙනවා” ඇන්ටන් පෙරේරා සඳහන් කළේය.
ඔහු සඳහන් කරන ආකාරයට දැනට රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන් ලෙස කටයුතු කරන නිලධාරීන් හැට දහසක් පමණ අතරින් දස දහසක් පමණ වාහනයකට හිමිකම් කියන බවය. ඒ අනුව වාහන දස දහසකට වඩා නිලධාරින් වෙනුවෙන් වෙන්කිරීමට සිදුවීමත්, ඒ සඳහා වන පිරිවැයත් ඉතා ඉහළ බව ඔහු සඳහන් කරන්නේය.
කොළඹ හිටපු දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගරගේ තක්සේරුව අනුව මාසයකට නිලධාරියෙක් වෙනුවෙන් දෙන වාහනයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් වැයවන්නේය. ඒ නිසා නිල වාහනයක් හිමි නිලධාරීන් තමන්ගේ පුද්ගලික වාහනය භාවිත කරන්නේ නම් දෙන දීමනාව මීට වඩා වැඩි කළ යුතු බව ඔහුගේ අදහසයි.
“මේ දීමනාව රුපියල් ලක්ෂ දෙකක් විතර කළා නම් තවත් හොඳයි. එහෙනම් නිලධාරීන් පුද්ගලික වාහනවලට යොමු වීමට මීට වඩා වැඩි අවධානයක් යොමු කරාවි. එවිට ආණ්ඩුවේ වාහන සඳහා වන වියදම අඩු වෙනවා. ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස වාහන හිමි නිලධාරීන්ට රජයේ වාහනයක් දෙනවා වෙනුවට දීමනාවක් දෙනවා කියන ස්ථාවරයට එන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම වාහන ආනයනය කිරීමේදී තීරු බදු සහනයක් වගේ සහනයක් දීලා පුද්ගලික වාහන භාවිතාව දිරිමත් කළ හැකියි. ඒක ප්‍රවර්ධනය කිරීම මගින් රාජ්‍ය වියදම් තවදුරටත් අඩු කිරීමේ හැකියාව තිබෙනවා” සුනිල් කන්නන්ගර සඳහන් කළේය.
වාහන දීමනාව ඉහළ දැමූ විට එය නිලධාරීන්ගේ වැටුපට එකතු වන්නේය. එසේ වැටුප් වැඩිවන විට උපයන විට බද්ද සඳහා වන ප්‍රතිශතයත් ඉහළ යන නිසා මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබෙන බව සුනිල් කන්නන්ගරගේ අදහසයි. ඒ ගැනත් අවධානය යොමු කර දීමනාව තවදුරටත් ඉහළ දැමිය යුතු බව ඔහු පවසන්නේය.
ඔහුගේ අත්දැකීම් අනුව නිල වාහනය වෙනුවට පුද්ගලික වාහනය සඳහා වන දීමනාව ගන්නා ඇතැම් නිලධාරීන් බස්රථයෙන් කාර්යාලයට එන්නේය. එසේ බස්රථයෙන් එන ඇතැම් නිලධාරීන් තමන්ගේ රාජකාරී කටයුතු සඳහා අදාළ ආයතනයේ සංචිතයේ ඇති වාහන භාවිත කරන්නේය.
නිල වාහනය වෙනුවට වාහන දීමනාව ගන්නේ නම් සංචිතයේ වාහන භාවිත කළ නොහැකි බවට මීට පෙර නිකුත් කළ චක්‍රලේඛවල සඳහන්ව තිබුණේය. එහෙත් ඇතැම් නිලධාරීන් බස් රථයෙන් හෝ තමන්ගේ වාහනයෙන් කාර්යාලට පැමිණ සංචිතයේ ඇති වාහනවලින් අනෙක් රාජකාරී කටයුතු කිරීම පුරුද්දක් බවට පත් කරගත් අවස්ථාද වාර්තාවී තිබුණේය. ඒ නිසාමදෝ අලුත් චක්‍රලේඛය අනුව වාහන දීමනාව ගන්නා නිලධාරීන්ට සංචිතයේ ඇති වාහන භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන්නේය. එසේ වාහන දීමනාව ගන්නා අතරවාරයේදි සංචිතයේ වාහන භාවිත කරන්නේ නම් එය දූෂණයක් බවත්, එයට එරෙහිව අලුත් දූෂණ විරෝධී පනත අනුව කටයුතු කරන බවත් චක්‍රලේඛයට ඇතුළත් කර තිබෙන්නේය.
“කලින් තිබුණ චක්රලේඛවලත් සංචිතයේ වාහන භාවිත කරන්න බෑ කියලා සඳහන් වෙලා තිබුණා. උදාහරණයක් විදියට කාර්යාලයේ ඉඳලා පාර්ලිමේන්තුවට තවත් නිලධාරීන් පිරිසක් එක්ක මේ නිලධාරියා එකම වාහනයේ යන්න පුළුවන්. එහෙම සංචිත වාහන භාවිත කිරීමට හැකියාවක් නැති නිලධාරියෙක් සංචිත වාහන භාවිත කරනකොට ඒ බව අනෙක් නිලධාරීන් දන්නවා. හැබැයි ඒක වළක්වන්න කටයුතු කරන්නේ නෑ. ඒ නිසා තමයි අලුත් චක්‍රලේඛයට එසේ සංචිත වාහන භාවිත කිරීමට නොහැකි නිලධාරීන් සංචිත වාහන භාවිත කිරීම දූෂණ විරෝධී පනත අනුව කටයුතු කළ හැකි දෙයක් බවට පත් කරලා තියෙන්නේ” ඇන්ටන් පෙරේරා සඳහන් කළේය.
තමන්ට හිමි නිල වාහනයම ගන්නා නිලධාරීන්ද රාජ්‍ය සේවයෙන් හමුවන්නේය. බොහෝ විට අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් රජයෙන් දෙන වාහනම භාවිත කරන්නේය. ඒ තමන්ගේ රාජකාරී සමග තමන් වාහනයක් පදවාගෙන යාම් ඒම් කිරීම පහසු කටයුත්තක් නොවන නිසාය. ඇතැම් රාජ්‍ය නිලධාරීන් තමන්ට පුද්ගලික වාහනයක් ගැනීමේ අවශ්‍යතාව කොතරම් තිබුණත් බලන්නේ වාහනයේ නඩත්තුව ආණ්ඩුවේ මුදලින් කරගැනීමටය. ඒනිසා දීමනාව වෙනුවට වාහනම ඇතැම් නිලධාරීහු ඉල්ලා සිටිති. ඇතැම් නිලධාරීන් ආණ්ඩුවේ වාහනයට කැමැති වන්නේ නිවසේ තිබෙන කුඩා වාහනයක් වෙනුවට ලොකු වාහනයක් භාවිත කිරීමට අවස්ථාව ලැබෙන නිසාය. සුව පහසු වාහනයක් භාවිත කිරීමට හැකියාව ලැබෙන නිසාය.
ඉස්සර නම් රාජ්‍ය සේවය සඳහා වාහන මිලදී ගැනීම් ගැන කතා කළේ මැති ඇමැතිවරුන්ට මිලදී ගත් වාහන ගැනය. දැන් කතා කරන්නේ ඩබල් කැබ් මිලදී ගැනීම ගැනය. ඒ රජයේ සේවකයන් වෙනුවෙන් කැබ් රථ මිලදී ගැනීමට ආණ්ඩුව සූදානමින් සිටින නිසාය. එම කැබ් රථත් බොහෝ විට එක් නිලධාරියෙක් වෙනුවට සංචිතවලට යොමු කිරීමට වැඩි හැකියාවක් ඇත්තේ තනි වාහන භාවිත කිරීම අධෛර්යමත් කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන මෙම පියවර දෙස බලන විටදීය.


