පූර්ව හදිසි අනතුරු ඇඟවීම් ක්‍රම 15ට වැඩි ප්‍රමාණයක් අපිට තියෙනවා
14 May 2026
පූර්ව හදිසි අනතුරු ඇඟවීම් ක්‍රම 15ට වැඩි ප්‍රමාණයක් අපිට තියෙනවා
14 May 2026
ඉදිරියේදී ඇතිවිය හැකි නිරිතදිග මෝසම් වර්ෂාවට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍යවරිය පසුගිය දිනයක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම්දීමක් කර ඇත. ඒ අනුව ඉදිරියේදී ඇති විය හැකි නිරිත දිග මෝසම් වර්ෂාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙර සූදානම් වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් හා තවත් කාරණා කිහිපයක් පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි සමග කළ සාකච්ඡාවකි මේ.
නිරිත දිග මෝසම් වර්ෂාවත් සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්න කියලා පහුගිය දවසක අගමැතිනිය ප්‍රකාශයක් කරලා තිබුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒ සම්බන්ධයෙන් මොනවගේ සූදානමකින්ද ඉන්නේ?
නිරිතදිග මෝසම් වර්ෂාවට පමණක් නොවෙයි ඊසාන දිග මෝසමට වගේම රටතුළ ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටිනවා. නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් එයට මුහුණ දීම සඳහා බෝට්ටු, අඟුල් වැනි උපකරණ පවා සූදානම් කරලා ගංවතුර තත්ත්වයන් ඇතිවෙයි කියලා හිතන ප්‍රදේශ වෙත එම උපකරණ යොමුකරලා තියෙනවා. මෝසම සඳහා සූදානම් වීමේ සාකච්ඡා සෑම දිස්ත්‍රික්කයක් තුළම පවත්වලා අවසන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තමයි මෝසම ප්‍රකාශයට පත්කරන්නේ ඔවුන් පසුගිය දවසක එය ප්‍රකාශයට පත් කළා.
හදිසි ආපදා තත්ත්වයකදී ජනතාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙන්නේ කොහොමද?
ආපදාවක් රටතුළ ඇති වුණත් නැතත් අපේ ආපදා මධ්‍යස්ථාන පැය 24 පුරාම විවෘතව පවතිනවා. ප්‍රධාන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග දිස්ත්‍රික් 25 පුරාම පවතින ආපදා මධ්‍යස්ථාන නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් කටයුතු කරනවා. 117 කියන දුරකථන අංකය හරහා ඕනෑම ආපදා අවස්ථාවක් දැනුම් දෙන්න පුළුවන්. මේ හරහා ජනතාවට හදිසි ආපදා මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මේ සියලුම මධ්‍යස්ථානවල ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් පැය 24 පුරාම ක්‍රියාකාරීව කටයුතු කරනවා. තමන්ගේ දිස්ත්‍රික්කය තුළ සිදුවන ආපදා තොරතුරු ලබාදීමට හා ලබාගැනීමට මෙම දුරකථන අංකය භාවිත කරන්න පුළුවන්.
ආපදාවක් සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දෙන පූර්ව අනතුරු ඇඟවීම් නිර්මාණය වෙන්නේ කොහොමද?
සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කර තිබෙන ආපදා මධ්‍යස්ථාන සතුව පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රම 15ක් පමණ තිබෙනවා. පූර්ව අනතුරු ඇඟවීමක් කොටස් හතරකින් සමන්විතයි. එහි පළමු කොටස නිර්මාණය වන්නේ ගංවතුර, සුනාමි, නායයෑම් ඇතුළු ආපදාවන් ඇතිවිය හැකි ප්‍රදේශ හඳුනාගැනීම හා එම ප්‍රදේශ සිතියම් ගත කිරීම සඳහායි. මේ සිතියම්ගත කිරීම කළේ පසුගිය කාලය පුරා ඇති වූ ආපදාවන් පදනම් කරගෙනයි. ආපදාව හදුනාගැනීමේ පළමු කාර්යය මෙයයි.
දෙවන කාර්යය වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැනි ආයතනවලින් නිකුත් කරන තාක්ෂණික දත්ත ලබා ගැනීමයි. එම දත්ත අදාළ ප්‍රදේශවල අදාල පුද්ගලයින් වෙත ලබා දීම තුන්වන කාරණයයි. හතරවන කාර්යය එහෙමත් නැත්නම් අවසන් කාර්යය වන්නේ ජනතාවට පූර්ණ අනතුරු පිළිබඳව දැනුම්දීමක් ලැබුණු පසුව ක්‍රියා කිරීමයි. ඒ අනුව ඔවුන් දැනට පදිංචි වී සිටින ස්ථානවලින් තාවකාලිකව ඉවත් විය යුතුද, අකුණු අනතුරු වළක්වා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග ඇතුළු ස්වභාවික විපත් පිළිබඳව ජනතාවට දැනුම්දීම ආදිය කෙරෙනවා. මේ කොටස් හතරම එකතු කරගෙනයි පූර්ව අනතුරු ඇඟවීමක් නිර්මාණය කරන්නේ.
පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රම නිර්මාණය කළ පසුව එය ජනතාවට ලබා දෙන්නේ කෙසේද?
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැනි තාක්ෂණික ආයතන මගින් අපට ලැබෙන පූර්ව අනතුරු ඇඟවීම් පණිවුඩය ජනතාවට ග්‍රහණය කර ගැනීමට පහසු ලෙස නිර්මාණය කරලා අවශ්‍ය මාධ්‍ය තෝරාගෙන ජනතාව වෙත පණිවුඩය ලබාදීමට කටයුතු කරනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තුළ පැය 24 පුරාම ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා කාර්යභාර්යය නිලධාරීන් රාජකාරි කටයුතුවල නිරත වෙනවා. දිස්ත්‍රික් මට්ටමේ සිට ගම්මාන මට්ටමට දක්වාම පූර්ව ආපදා පණිවුඩ ලබා දිය යුතුයි. දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, මාධ්‍ය ආයතන සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු 35000ට ආසන්න පිරිසක් මේ පණිවුඩය ප්‍රජාවට දුරකථන පණිවුඩයක් ලෙස ලබා දෙනවා. මේ සඳහා වට්ස්ඇප්, ෆේස්බුක්, සමාජ මාධ්‍ය භාවිත කරනවා.
සුනාමි අනතුරු ඇඟවීමේ ලබා දෙන්න අපි 70000ක පමණ පිරිසක් සම්බන්ධ කරගෙන සිටිනවා. ඔවුන්ගේ දුරකථනයට ලැබෙන පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩය විශාල හඬකින් නාද වෙනවා. එම නාදවීමත් සමග ලැබෙන පණිවුඩය භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රචාරය වෙනවා. මෙම වැඩපිළිවෙළ අනෙකුත් ආපදා සඳහාත් භාවිත කිරීමට ලක්ෂ 6ට වැඩි පිරිසක් සම්බන්ධ කරගැනීමට අපි දැන් කටයුතු කරමින් ඉන්නවා.
තවත් වැඩපිළිවළක් ගැන සඳහන් කරනවා නම් ලංකාවේ මේ වන විට මිලියන 32කට වැඩි සිම්කාඩ් ප්‍රමාණයක් තියෙනවා. මේ සියලුම ජංගම දුරකථනවලට පූර්ව අනතුරු ඇගවීම් පණිවුඩ ලබා දීමට විදුලි සංදේශ කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව අදාළ දුරකථන ආයතන සමග එකඟතා ගිවිසුමක් අත්සන් කරගෙන යනවා. ඒ අනුව සියලුම ජංගම දුරකථනවලට අදාළ පණිවුඩ ලබා දෙන්න පුළුවන්. මීට අමතරව ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සන්නිවේදන ජාල තියෙනවා. මේ ජාලය හරහා පණිවුඩය දෙන්න පුළුවන්. ඒ වගේම ඊමේල්, වෙබ්සයිට්, ඉන්ටනෙට්, ෆැක්ස් ආදී ප්‍රචාරක මධ්‍ය භාවිත කරලා පැය 24 පුරාම ජනතාවට පණිවුඩය ලබා දෙන්න කටයුතු කරනවා. තවත් විශේෂිත ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. අංක 3ක් ඩයල් කරලා දිස්ත්‍රික් 25ටම අදාළ පණිවුඩය ලබා දීමේ ක්‍රමවේදය තාක්ෂණික ආයතනවලටත් සම්බන්ධ කරලා තියෙනවා. මේ ආකාරයෙන් පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රම තවත් වැඩි කරන්න කටයුතු කරනවා. සියලුම මාධ්‍යවල කෙටි පණිවුඩ ක්‍රමවේදයන් අපේ පද්ධතියට සම්බන්ධ කරලා තියෙනවා. කෙටි පණිවුඩ ක්‍රමවේදය හරහා මිලියන 2ට වැඩි ප්‍රමාණයකට පණිවුඩය දෙන්න පුළුවන්. පූර්ව හදිසි අනතුරු ඇඟවීම් ජනතාවට ලබා දීම සඳහා මෙවැනි ක්‍රම 15ට වැඩි ප්‍රමාණයක් අපිට තියෙනවා.
හදිසි ආපදා මධ්‍යස්ථානය තුළ නිර්මාණයවන තීරණ ගැනීමේ පද්ධතිය කියන්නෙ මොකක්ද
හදිසි ආපදා මධ්‍යස්ථාන තුළ ක්‍රියාත්මක වන තීරණ ගැනීමේ පද්ධතිය (Emergency Operations Center - Decision Support System) කියන්නේ ආපදා අවස්ථාවකදී නිවැරැදිව හා කඩිනම්ව තීරණ ගැනීම සඳහා දත්ත, පරිගණක ආකෘති සහ මානව විශේෂඥ දැනුම ඒකාබද්ධ කරන ක්‍රමවේදයක්. මෙහි මූලික අරමුණ වන්නේ ජීවිත හා දේපළ හානි අවම කිරීමයි.
මේ පද්ධතිය මගින් ඕනෑම ජංගම දුරකථනයක් හරහා තමන්ගේ අවට ප්‍රදේශයේ ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් ක්ෂණිකයෙන් හඳුනාගැනීමට හැකියාව පවතිනවා. ආපදා පවතින්නේ මොන ප්‍රදේශවලද, තමා ඉවත් විය යුතු වන්නේ මොන ප්‍රදේශයෙන් ද මොනවගේ පූර්ව ඇමතුමක් ද ලැබෙන්නේ, ලැබෙන පණිවුඩවලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද, ළඟම තියෙන ආරක්ෂිත ස්ථානය කුමක්ද ආදී කාරණා පිළිබඳව ලංකාවම ආවරණය වන පරිදි මෙම තීරණ ගැනීමේ පද්ධතිය ක්‍රියාත්මක කරනවා. මේ වන විට මෙහි වැඩකටයුතු අඩක් අවසන්. ඉතිරි කොටසත් ඉක්මනින්ම අවසන් කිරිමට කටයුතු කරනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සම්බන්ධ 117 දුරකථන අංකය ගැනත් පැහැදිලි කිරීමක් කරමු?
117 කියන්නේ මහජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් සමග පැය 24 පුරාම සම්බන්ධ වී අවශ්‍ය පූර්ව අනතුරු ලබා ගැනීමට සහ ලබා දීමට හැකි අංකයක්. මෙම අංකය ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්.
හදිසි මෙහෙයුම් මැදිරියක කාර්යභාර්යය ගැනත් කතා කරමු?
හදිසි මෙහෙයුම් මැදිරිය නිරතුරුව ක්‍රියාත්මකයි. ශිෂ්‍යත්වය, උසස්පෙළ, සාමාන්‍යපෙළ යන විභාගවලදී, මැතිවරණ පැවැත්වෙන අවස්ථාවකදී, පෙරහරවල් පැවැත්වෙන විටකදී ආපදා තත්ත්වයක් ඇති වුණොත් අදාළ ආයතන සමග සම්බන්ධ වී අවහිරතාවකින් තොරව එම කටයුතු කරගෙන යාමට අවශ්‍ය සහය ලබා දීමක් තමයි හදිසි මෙහෙයුම් මැදිරියකින් වෙන්නේ. උදාහරණයක් ලෙස දරුවන්ට විභාග පැවැත්වෙන කාලය තුළ ආපදා තත්ත්වයක් ඇති වී විභාග මධ්‍යස්ථානයන් වෙත ළඟාවීමට නොහැකිවන දරුවන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන පහසුකම් දීම, ප්‍රශ්නපත්‍ර සහ උත්තර පත්‍ර විභාග මධ්‍යස්ථානයන් වෙත සහ ඉන් පිටතට ප්‍රවාහනය කර දීම, ආපදාවන්ට ලක්වන ප්‍රදේශවල ගුරුවරුන්ට සහ දරුවන්ට හදිසි මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ වීමට දුරකථන අංකයක් ලබා දීම. ඒ වගේම දිස්ත්‍රික්ක 25 තුළම විභාග මධ්‍යස්ථානවල පෙර පැවැති ආපදා තත්ත්වයන් මොනවාද, යටවුණ පාරවල් මොනවාද යන්න අපි දැනුම්වත් කරනවා. හදිසි තත්ත්වයක් ඇති වුණොත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පැය තුනෙන් තුනට හදිසි මෙහෙයුම් මැදිරියට පණිවිඩ දීලා දැනුම්වත් කරනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පහුගිය දවසක එල්නිනෝ තත්ත්වයක් ගැන සඳහන් කළා. යම් හෙයකින් එල්නිනෝ තත්ත්වයක් ඇති වුණොත් ඒ සඳහා පවතින සූදානම මොන වගේද?
මෙවැනි තත්ත්වයක් වසර 2018 , 2019 වර්ෂවලත් ඇති වුණා. වියළි කාලගුණික තත්ත්වයකදී පානීය ජලය ලබා දීම සම්බන්ධයෙන් ආපදා සහනසේවා මධ්‍යස්ථානය කටයුතු කරනවා. වගා සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියා කරනවා. මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ආදී ආයතන එකතුවෙලා වියළි කාලගුණික තත්ත්වයකදී එකතු වෙලා තම තමන්ට පැවරී තිබෙන වැඩකොටස කරනවා. මෙතැනදී ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් එක්ක එකට කටයුතු කරනවා. පානීය ජල බව්සර්, ටැක්ටර් ජල බව්සර් සැපයීම ජල ටැංකි ස්ථාපිත කිරීම වැනි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ ජාතික ආපදා සහන මධ්‍යස්ථානයයි. කොහොම නමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එල්නිනෝ තත්ත්වයක් ගැන තවම පුරෝකථනයක් කරලා නැහැ. ඉදිරියේදී එවැනි පුරෝකථනයක් කළොත් එයට මුහුණ දීමටත් අපි සූදානමින් ඉන්නවා.

