ශ්‍රී ලංකා - පාකිස්තාන කාන්තා එක්දින තරගාවලියේ ඇරැඹුම අද
23 July 2026
ශ්‍රී ලංකා - පාකිස්තාන කාන්තා එක්දින තරගාවලියේ ඇරැඹුම අද
23 July 2026
සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (23 වැනිදා) සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලියේ ඉතිරි තරග අනිද්දා (25 වැනිදා) සහ 28 වැනිදා පැවැත්වෙන අතර නිමාවට පත්වූ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව කණ්ඩායම් දෙක සහභාගි වන ප්‍රථම ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය මෙය වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි චමරි අතපත්තුගේ නායකත්වයෙන් තරගවදින අතර, පාකිස්තාන කණ්ඩායම ෆාතිමා සානාගේ නායකත්වයෙන් තරග වදියි. මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල 2025 - 2027 කාන්තා ශූරතාවට අදාළව පැවැත්වේ. තරගාවලියට සහභාගි වන පාකිස්තාන කණ්ඩායම ඉකුත්දා මෙරටට පැමිණියේය.
මේ අතර තරගාවලිය සඳහා මින් පෙර සංචිතයට නම් කර සිටි කාව්‍යා කාවින්දි අසනීප තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කොට ඇති අතර ඒ වෙනුවට මල්කි මධාරා සංචිතයට එක් කොට ඇත.
තරගාවලියේ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 31වැනිදා, අගෝස්තු 2 වැනිදා සහ 4 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

