brand logo
logo
ට්‍රම්ප්ගේ පරාජයට හේතුව යුද්ධයමද?

ට්‍රම්ප්ගේ පරාජයට හේතුව යුද්ධයමද?

06 November 2026

මේ වන විට අන්තර්ජාතික දේශපාලන වේදිකාවේ වගේම නිවෙස්වල මැද සාලේත් ප්‍රධාන මාතෘකාව ඇමරිකාවේ මැද වාර මැතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂය ලද කැපීපෙනෙන පරාජයය. ට්‍රම්ප් බලයට පත්වූ දා සිට ක්‍රියා කළේ ලොව සියලු රටවල් තම ප්‍රවේනි දාසයන්ගෙන් පැවත එන බව සිතා මෙනි. ට්‍රම්ප්ගේ අත්තනෝමතික තීරණ නිසා අමෙරිකානුවන්ට පමණක් නොව ලොවටම ඔහු අභියෝගයක්ව තිබියදී එරට මැද වාර මැතිවරණය පැවැත්විණි. මුළු ලෝකයේම අවධානය මෙවර මැතිවරණය කෙරෙහි මෙපමණටම යොමු වී ඇත්තේ මන්ද? වාර්තා ගත ජයකින් බලයට පත්වූ ට්‍රම්ප්ට සිදු වූයේ කුමක්ද? ලෝකයටම මෙය වැදගත් වන්නේ ඇයි ?


2024 ඇමරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් ලැබුවේ වාර්තා ගත ජයකි. එහෙත් ජයග්‍රහනය, විජයග්‍රහනයක් නොකර ඔහු එය පරාජයක් බවට පරිවර්තනය කර ඇත. ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් පක්ෂයට එල්ල වූ දරුණු පරාජයට එකම හේතුව යුද්ධයම පමණක් නොවන නමුත්, ඉරාන යුද්ධය සහ එහි වක්‍ර ආර්ථික බලපෑම ඊට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ගෝලීය දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයවේ.

මැතිවරණ විශ්ලේෂකයන් සහ විදේශීය දේශපාලන වාර්තාවලට අනුව පරාජයට බලපෑ ප්‍රධාන හේතු කිහිපයක් ඇත. ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය ඉන් ප්‍රමුඛවේ. අන්තර්ජාතික වාර්තාවන්ට අනුව එරට ඡන්දදායකයන්ගෙන් වැඩි පිරිසක් (80%කට ආසන්න ප්‍රමාණයක්) ඡන්දය දීමේදී සලකා බලා ඇත්තේ දෛනික ජීවන වියදම සහ ඉන්ධන මිල ඉහළ යාමය. ට්‍රම්ප් පැනවූ දැඩි තීරුබදු සහ ඉරාන යුද්ධය හේතුවෙන් ඇමරිකාව තුළ භාණ්ඩ හා සේවා මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම ජනතාවගේ දැඩි අප්‍රසාදයට හේතු විය.

ට්‍රම්ප් විසින් ඉරානය සමග ආරම්භ කළ යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගිය අතර, එය ඇමරිකානු ජනතාවගේ පවුලේ ආර්ථිකයට වැදුණු මරු පහරකි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු, රිපබ්ලිකන් පක්ෂයේ පරාජයට ඉරාන යුද වාතාවරණයද එක් හේතුවක් වූ බව ට්‍රම්ප් පිළිගත්තේය. ඉන්ධන සහ බලශක්ති මිල ගණන් ඉහළ යාම හේතුවෙන්, සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුළ එරට භාණ්ඩ හා සේවා මිල ගණන් 3.7% කින් ඉහළ ගියේය.


ජනමත විමසුම් දත්තවලට අනුව, ඡන්දදායකයන් දස දෙනකුගෙන් අට දෙනකුට ආසන්න ප්‍රමාණයක් (79%) ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය වසර තුළ පැවති උද්ධමනය හේතුවෙන් තමන්ට සහ තම පවුලේ අයට දැඩි හෝ මධ්‍යස්ථ මට්ටමේ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූ බවය.


ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති සමග බොහෝ දෙනා එකඟ වූයේ නැත. ට්‍රම්ප්ගේ පාලන සමයේ අනුගමනය කළ ඒකපාර්ශ්වික විදේශ ප්‍රතිපත්ති, සංක්‍රමණිකයන් පිළිබඳ දැඩි නීති සහ හිතුවක්කාරී තීරණ කෙරෙහි ඇමරිකානු තරුණ ප්‍රජාව සහ සුළු ජාතීන් (කළු ජාතිකයන් සහ ලතින් ඇමරිකානුවන් ඇතුළු) අතර දැඩි විරෝධයක් ගොඩනැඟී තිබිණි. මේ අතරේ LGBT ප්‍රජාව (ලිංගික සංක්‍රාන්තිකයන් සහ සමලිංගික ප්‍රජාව) ලිංගික බෙදීම් කරන දේශපාලනය පරාජයට පත්වූ බවට හඬ නැඟුවත් සැබෑම හේතුව වූයේ ආර්ථික ගැටලුය. මෙවර ඡන්ද ව්‍යාපාරයේදී ට්‍රම්ප් සහ ඔහුගේ පාක්ෂිකයන් ඩොලර් මිලියන 400කට වඩා වැයකර තිබුණේ සමලිංගික විරෝධී දැන්වීම් සඳහාය. වසර 2024 දී ඔහු එතරම් වියදම්කර තිබුණේ නැත. දේශපාලන විචාරකයන් පවසා සිටියේ ට්‍රම්ප්ට ‍රටේ ආර්ථිකය ගැන කතා කර ඡන්ද ගැනීමට නොහැකි බැවින් සංස්කෘතික යුද්ධයකට මුල පිරූ බවය. කෙසේ වෙතත් මෙවර ලිංගික සංක්‍රමණයට පත්වූවන් සහ සමලිංගික නියෝජිතයන් කිහිප දෙනකුම ජය ලබා ඇත. හොඳම උදාහරණය වන්නේ මේ ප්‍රජාවට සහාය දෙන ටෙක්සාස් ප්‍රාන්තයේ ජේම්ස් ටැලරිකෝය. ඔහුට එරෙහිව මිලියන ගණන් ලිංගික සංක්‍රමනික විරෝධී දැන්වීම් ව්‍යාපාරයක් ගෙන ගිය ද ඩිමොක්‍රටික් සෙනෙට් සාමාජිකයකු වීමට හෙතෙම වරම් ලැබීය. ටෙක්සාස් ප්‍රාන්තයෙන් ඩිමොක්‍රටිස් සාමාජිකයෙක් සෙනෙට් සභාවට යන්නේ තිස් අට වසරකට පසුවය.

ලොවේම අවධානය මැද වාර මැතිවරණයට මෙපමණටම යොමුවන්නේ ඇයි?

ඊට ප්‍රධානතම හේතුව වන්නේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට ජනාධිපතිවරයාගේ බලය පාලනය කිරීමේ සහ සීමා කිරීමේ හැකියාව පැවතීමයි.

ඇමරිකාව තුළ සම්මත වන්නේ කුමන නීතිද, රාජ්‍ය මුදල් වියදම් කරන්නේ කොතැනටද, පාලනය කරන්නේ කුමන කර්මාන්තටද සහ පරීක්ෂාවට ලක් කරන්නේ කුමන රාජ්‍ය ආයතනද යන්න තීරණය කරන්නේ කොංග්‍රස් මණ්ඩලයයි. වර්තමානයේදී ජනාධිපති ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයේ බහුතරය හිමි කොංග්‍රස් මණ්ඩලයේ සහාය ලැබෙන බැවින් නීති සම්පාදනාත්මක බාධාවන් ගැන සිතීමට සිදු වී නැත. එනමුත් මේ මැදවාර මැතිවරණ ප්‍රතිඵලය මඟින් ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ඔස්සේ ඔහුගේ දේශපාලනය උඩු යටිකුරුවේ.

තීරුබදු (Tariffs) සඳහා එල්ල වන ප්‍රබල පීඩනය

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදු සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ දැඩි විරෝධයක් එල්ල විය. එම තීරුබදු නීති විරෝධී බවත්, එය බලය අනිසි ලෙස භාවිත කිරීමක් බවත් ඔවුහු චෝදනා කළහ.

ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තීරුබදු පැනවීමේ නීතිමය බලය හිමිවන්නේ කොංග්‍රස් මණ්ඩලයට පමණක් වන අතර ජනාධිපතිවරයාට ඊට සෘජු බලයක් නොමැත. රිපබ්ලිකන් පක්ෂය ට්‍රම්ප්ගේ තීරුබදුවලට අභියෝග නොකළද, කොංග්‍රසයේ බලය හිමිවුවහොත් ඩිමොක්‍රටික්වරුන්ගෙන් ට්‍රම්ප්ට ගැලවීමක් නම් නැත.


ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධය හේතුවෙන් පසුගිය වසරේ පමණක් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයට 0.5% ක පාඩුවක් සිදු විය. යම් හෙයකින් කොංග්‍රසය මඟින් මේ තීරුබදු තර්ජනය ඉවත් කළහොත්, ජාත්‍යන්තර වෙළෙඳාම යථා තත්ත්වයට පත්වී ලොව පුරා ව්‍යාපාරිකයන්ට විශාල සහනයක් හිමිවනු ඇත.

ට්‍රම්ප්ගේ ‘හිතුමතේ ජීවිතේ’

නීත්‍යනුකූලව ඇමරිකාව යුද්ධයකට යොමු කිරීමේ බලය හිමිවන්නේද කොංග්‍රස් මණ්ඩලයට පමණි. ජනාධිපතිවරයා ප්‍රධාන අණ දෙන නිලධාරියා වුවද, යුද්ධ ප්‍රකාශ කිරීමේ අවසන් බලය ඇත්තේ කොංග්‍රසයටයි.මෙසේ තිබියදී, ඉරානයට හෝ වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කිරීමට පෙර ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලයෙන් කිසිදු විමසීමක් කළේ නැත. එකල රිපබ්ලිකන් පක්ෂය විසින් පාලනය කළ කොංග්‍රසය පවා ට්‍රම්ප්ගේ යුද්ධයට එරෙහිව යෝජනාවක් සම්මත කරමින්, කොංග්‍රසයේ අනුමැතිය ලබාගන්නා ලෙස ජනාධිපතිවරයාට නියෝග කළද ට්‍රම්ප් එය සම්පූර්ණයෙන්ම නොසලකා හැරියේය.

ඩිමොක්‍රටික් පක්ෂයට බලය හිමිවුවහොත් ඔවුන්ට හමුදා නිලධාරීන් සහ ට්‍රම්ප්ගේ උපදේශකයන් ප්‍රසිද්ධ විමර්ශනවලට කැඳවිය හැකිය. එවිට කොංග්‍රසය නොසලකා හැරීමට ට්‍රම්ප්ට හැකියාවක් නැත. මෙය ඉරානය සහ මැදපෙරදිග යුද වාතාවරණය ලිහිල් කිරීමටත්, බලශක්ති වෙළෙඳපොළ සහ තෙල් නිෂ්පාදනය යථා තත්ත්වයට පත්කිරීමටත් හේතු වනු නිසැකය.


ඡන්දයට කෘත්‍රිම බුද්ධියත් බලපාලා

ජනාධිපති ට්‍රම්ප් කෘත්‍රිම බුද්ධිය (AI) හෝ ඔහු හඳුන්වන පරිදි "සුපිරි බුද්ධිය" (Super intelligence) නියාමනය කිරීමට හෝ පාලනය කිරීමට කැමැත්තක් නොදක්වන්නේය. මේ අකමැත්ත නිසා කොංග්‍රස් මණ්ඩලයද ඊට අදාළ නීති සම්මත කළේ නැත. AIට සීමා දැමුවහොත් චීනය ඇමරිකාව පරදවා කෘත්‍රිම බුද්ධි ජයග්‍රහණය ලබන බවට සැකයක් ට්‍රම්ප්ට ඇත. OpenAI වැනි කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්ෂේත්‍රයේ පතාක යෝධයන් AI තාක්ෂණික ගමන පාලනය නොකළහොත් පාලනයෙන් ගිලිහී යනු ඇතැයි අනතුරු ඇඟවූවත් ඔහු එය පිළිනොගත්තේය. එහෙත් ඩිමොක්‍රටික් පක්ෂය සිටින්නේ AI තාක්ෂණය මත නීතිමය සීමාවන් පැනවීමේ ස්ථාවරයකය. ඇමරිකාව යනු ලොව AI ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බැවින්, කොංග්‍රසය මඟින් පනවන නීති මුළු ලොවටම බලපානු ඇත.


ජනාධිපතිවරයාට ඇමරිකානු අයවැය යෝජනා කළ හැකි නමුත් එය සම්මත කිරීමේ බලය ඇත්තේ කොංග්‍රසයටයි. මැදවාර මැතිවරණයකින් පසු කොංග්‍රසයේ බලය විපක්ෂයට හිමිවූ විට සිදුවන්නේ අයවැය හිරවීම සහ රාජ්‍ය පරිපාලනය අඩාළ වීමය. ඩිමොක්‍රටික් පක්ෂය ජයගතහොත් ඔවුන් අයවැය සම්මත කිරීම අත්හිටුවනු ඇති අතර, ට්‍රම්ප්ද ඊට යටත් නොවී රාජ්‍ය පරිපාලනය වසා තැබීමට ඉඩ හරිනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු රාජ්‍ය සේවකයන්ට වැටුප් නොලැබී යනු ඇත. මෙය ගෝලීය වශයෙන් බලපාන්නේ ජාත්‍යන්තර ආයෝජකයන් බියපත් වී නැවත වරක් ලෝක ආර්ථික පසුබැස්මක් පිළිබඳ බියක් ගොඩනැඟීමේ අවදානම හේතුවෙනි.

විපක්ෂ කොංග්‍රස් මණ්ඩලයක් පැමිණියහොත් ජනාධිපති ට්‍රම්ප්ට විදේශීය කටයුතුවලට වඩා ඇමරිකාවේ අභ්‍යන්තර දේශපාලනය සහ අයවැය සාකච්ඡා කෙරෙහි වැඩි කාලයක් යෙදවීමට සිදුවනු ඇත. එහි යහපත් ප්‍රතිඵලය වන්නේ ග්‍රීන්ලන්තය අල්ලා ගැනීම වැනි හිතුවක්කාරී සැලසුම්වලට හෝ නව යුද්ධ ආරම්භ කිරීමට ට්‍රම්ප්ට ඇති කාලය සහ අවස්ථාව අඩුවීමයි. මෙය මුළු ලෝකයටම සුබ පුවතකි. මේ අනුව ඇමරිකාවේ මැද වාර ඡන්දයක් පවා වැදගත් වන්නේ එරට ඡන්දදායකයන්ගේ තීරණය මත මුළු ලොවේම ආර්ථිකය, සාමය රැඳී පවතින බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.


තොරතුරු විශ්ලේෂණ සහාය - කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරියන් වූ එෂිණි ගුණරත්න සහ විතක්ෂි කරුණාසේන


 

More News..