බැංකොක් අගනුවර තෙල් පිරිපහදුවක පිපිරීමකින් 7 දෙනෙකුට තුවාල
26 November 2026
බැංකොක් අගනුවර තෙල් පිරිපහදුවක පිපිරීමකින් 7 දෙනෙකුට තුවාල
26 November 2026
තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි තෙල් පිරිපහදුවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
බැංකොක් අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි, 'බැංචැක් කෝපරේෂන්' බලශක්ති සමාගම විසින් පවත්වාගෙන යනු ලබන 'Phra Khanong' පිරිපහදු මධ්‍යස්ථානයේදී මෙම අනතුර සිදුව ඇත.
එරට වේලාවෙන් පස්වරු 2:45ට පමණ සිදු වූ මෙම පිපිරීමත් සමඟ ගින්නක් ද හටගෙන තිබේ.
කෙසේ වෙතත්, විනාඩි 30ක් ඇතුළත ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර නිවා දැමීමට හැකි වූ බව එම සමාගම නිවේදනය කර ඇත.
පිපිරීමත් සමඟ බැංකොක් අහස පුරා ඝන කළු දුමාරයක් පැතිර ගිය අතර, අවට පදිංචිකරුවන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස බලධාරීන් විසින් උපදෙස් ලබා දී තිබේ.
දිනකට තෙල් බැරල් 120,000ක් දක්වා පිරිපහදු කිරීමේ ධාරිතාවක් පවතින මෙම මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව බැංචැක් සමාගම ප්‍රකාශ කර ඇත. එම සමාගම සතුව දිනකට බැරල් 180,000ක පමණ ධාරිතාවකින් යුත් තවත් තෙල් පිරිපහදුවක් ද පවතී.
සිද්ධියට හේතුව පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.
මීට පෙර 2012 වසරේ ජූලි මාසයේදී ද මෙම පිරිපහදු මධ්‍යස්ථානයේම පිපිරීමක් සිදුව ගින්නක් හටගත් නමුත් එම අවස්ථාවේදී කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදු නොවීය.


