brand logo
logo
 ගිනිගැනීමට ලක්වූ සෙනෙහසේ කැදැල්ල රැඳවුම් මධ්‍යස්ථානය ලියාපදිංචි නොකළ ආයතනයක්

ගිනිගැනීමට ලක්වූ සෙනෙහසේ කැදැල්ල රැඳවුම් මධ්‍යස්ථානය ලියාපදිංචි නොකළ ආයතනයක්

04 June 2026


අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව සමාජ ආරක්ෂණ හා ප්‍රජා බලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා තහවුරු කර තිබේ.


අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල රැඳවුම් මධ්‍යස්ථානය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබූ ස්ථානයකි.


ඒ , එහි නේවාසිකයන් හා සේවාවන් පිළිබඳ නිරන්තරයෙන් පළ කෙරුණු වීඩියෝ නිසා වෙනි.


එම ස්ථානයේ හදිසි ගින්නක් හටගෙන තිබුණේ ඊයේ පස්වරු 5.10ට පමණය. 


වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් හා හොරණ ගිනි නිවීමේ ඒකකයේ භටයින් එක්ව ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ කළේය.


ගින්න ඇති වන අවස්ථාවේ අදාළ මධ්‍යස්ථානය තුළ විවිධ වයස්වල මානසික ආබාධ සහිත පුද්ගලයින් 70 දෙනෙකු සිට තිබේ.


ඒ අතරින් 52 දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට අසල්වාසීන් සහ පොලීසිය සමත් වී තිබුණි.


පිලිස්සුම් තුවාලසහිතව සිටියදී බේරාගැනුණු තවත් 8 දෙනකු එම අවස්ථාවේදීම රෝහල්ගත කෙරුණත් ඒ අතරින් දෙනෙකු පසුව මිය ගොස් තිබුණි.


ගින්නෙන් මෙම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර බේරාගැනීමට නොහැකි වූ 10 දෙනකුගේ පිළිස්සුණු මෘත දේහ ගින්න නිවාදැමීමෙන් පසු සොයාගැනුණි.


ඊයේ රාත්‍රියේදි ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා , කළුතර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ත කොට්ටහච්චි මහත්මිය හා නිලධාරීන් පිරිසක් ද එහි පැමිණ අනතුර නිරීක්ෂණය කළේය.


මධ්‍යස්ථානය තුළ සිට නිරුපද්‍රිතව බේරාගත් පිරිස ඊයේ රාත්‍රියේදීම බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ රඳවා තැබීමට කටයුතු කෙරුණි.


ගින්න හටගත් ස්ථානයට අද පෙරවරුවේ පැමිණි හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහි මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කළ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එහි පැමිණියේය.


එම අවස්ථාවේදි මෙම රැඳවුම් මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා ද පොලිස් අත්අඩංගුවට ගෙන එම ස්ථානයට රැගෙන විත් සිටි ආකාරය දක්නට ලැබුණි.


මෙහිදී ජල මෝටරය සහ එම ස්ථානයේ තිබූ මල්ටි ප්ලග් එකකින් විදුලිය කාන්දු වී ඇති බවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.


ඒ ආසන්නයේ මෙට්ට 80ක් පමණ ගොඩ ගසා තිබූ අතර එයට ගිනි ඇවිලි පැතීරි යන්නට ඇති බවට සැක පළ කෙරේ.


මේ අතර බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ රඳවාගෙන සිටි මුදාගත් පිරිස අද පෙරවරුවේ යුද හමුදාවේ සහායෙන් ගල්පාත වෙනත් සුරැකුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණි.


මේ අතර ගින්නට හසුවු රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි අයගේ ඥාතීන් ද අද එම ස්ථානයට පැමිණ සිටියේය.


සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර ඒ අනුව රැඳවුම් මධ්‍යස්ථානයේ සිසිටීවි දර්ශන ඇතුළත් DVR යන්ත්‍රය පොලිස් භාරයට ගැනුණි.


අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් එය පවත්වාගෙන ගිය පුද්ගලයා ජුනි 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය අද පස්වරුවේ නියම කළේය.

 

More News..