brand logo
logo
ඉන්දියාවෙන්  පලාආ සැකකරුවකු වාද්දූවෙන් අල්ලයි

ඉන්දියාවෙන් පලාආ සැකකරුවකු වාද්දූවෙන් අල්ලයි

30 September 2026

හෙරොයින් කිලෝග්‍රෑම් 337ක් සමග ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ පසුව, එරට ආරක්ෂක අංශ භාරයෙන් මිදී මෙරටට පලාආ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අද (30) සමත්විය.


සැකකරු වාද්දූව ප්‍රදේශයේ සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්විය.

වාද්දූව ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක වරෙන්තුකරුවකු සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.


එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම වැටලීම සිදුකළේය.


සැකකරු මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉන් පලායෑම සම්බන්ධයෙන් 2024 වසරේ නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.


ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ, ඔහු 2024දී වැල්ලේ සාරංග නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ උපදෙස් මත තවත් කිහිපදෙනෙකු සමග මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒම සඳහා බෝට්ටුවකින් ඉන්දීය මුහුදු සීමාවට ගිය බවය.

එහිදී මාලදිවයිනට ආසන්න මුහුදු සීමාවේදී වෙනත් බෝට්ටුවකින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 337ක ප්‍රමාණයක් ලබාදුන් බවත්, ඒවා ඉන්දියාවට රැගෙන යමින් සිටියදී තමන් ඇතුළු පිරිස ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් පවසා තිබේ.


පසුව තමන් ඉන්දියාවේ කෝචිහි පිහිටි අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගිය අවස්ථාවේ එම ස්ථානයෙන් පළායාමට හැකිවූ බව පවසා ඇත.

එලෙස අධිකරණ භූමියෙන් පිටතට පැමිණි ඔහු අසල තිබූ පාපැදියක් සොරගෙන දින 9ක් මුළුල්ලේ කෝචි නගරයේ සිට තමිල්නාඩු දක්වා කිලෝමීටර 900ක පමණ දුරක් පැද ආ බවද ඔහු පවසා තිබේ.


එහිදී තමිල්නාඩුහි ධීවර වරායක් දැක ඊට ඇතුළුවී බෝට්ටු 9කින් ඉන්ධන සොරාගත් බවත්, අනතුරුව එහිවූ බෝට්ටුවකින් දියඹට ගිය බවත් පොලිසියට පවසා ඇත.


එලෙස යන අතරතුරදී හමුවූ ඉන්දීය ධීවර බෝට්ටුවකින් "ශ්‍රී ලංකාවට යන්නේ කෙසේදැයි" විමසීමේදී ඔවුන් ගමන් කලයුතු දිශාව පෙන්වා ඇති අතර, ඒ අනුව දින 3ක් හිරු දර්ශනය වන දිශාව බලා යාත්‍රා කළ බව පැවසූ බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.


පසුව ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් හමුවී ඔවුන් සමග වෙන්නප්පුව ප්‍රදේශයට පැමිණි බවත් සැකකරු පවසා තිබේ.


අනතුරුව පැවති අසනීප තත්ත්වයක් මත මීගමුව රෝහලට ඇතුළුවී ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී, පොලිසිය එහි පැමිණ තමාව අත්අඩංගුවට ගත් බවද ඔහු පවසා ඇතැයි වාර්තා වේ.


ඒ අනුව ඔහු මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.


එලෙස මාස තුනක කාලයක් බන්ධනාගාරයේ සිටි සැකකරු, අදාළ නීති කෘත්‍ය සඳහා මාරවිල අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ ඉන් පැනගිය බව සැකකරු අනාවරණ කර තිබේ.


ජාත්‍යන්තර පොලිසිය නිකුත් කර ඇති රතු වරෙන්තුවකට අනුව සැකකරු ඉදිරියේදී ඉන්දියාවට භාරදීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..