brand logo
logo
 ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය 1°Cකින් ඉහළ ගිහින්

ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය 1°Cකින් ඉහළ ගිහින්

24 August 2026


ඇති වී ඇති එල් නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශකයකින් ඉහළ ගොස් ඇතැයි මේවන විට නිරීක්ෂණය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එල් නිනෝ බලපෑමත් සමඟ ඉදිරි මාස 8 ක කාලය ශ්‍රී ලංකාවට තීරණාත්මක වී තිබේ.


මේ අතර, පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් ඉහළ ගොස් ඇති බවද අනාවරණ වී ඇත.


මේ තත්ත්වය තුළ දිවා කාලයේ උෂ්ණත්වය වගේම රාත්‍රී කාලයේ උෂ්ණත්වයත් ඉහළ අගයක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.


මෙම එල් නිනෝ සංසිද්ධියේ බලපෑම මත මෙරට දිස්ත්‍රික්ක ගණනාවක පවතින්නේ දැඩි නියඟයකි.


කාලගුණ අංශ පවසන්නේ එළැඹෙන සැප්තැම්බර් මාසය අවසන් වන තුරුම එම පළාත්වලට වැසි නොලැබෙන බවය.


එල්නිනෝ තත්ත්වයේ බලපෑම මත දිවයිනේ දිස්ත්‍රික්ක 7කට බලපා ඇති අධික වියළි කාලගුණයෙන් ජලය මූලික කරගත් ජීවනෝපාය රැසකට මේවන විට සෘජු හා වක්‍ර බලපෑම් එල්ලවෙමින් පවතී.


මෙවන් පසුබිමක වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින තත්ත්වය යටතේ ජලාශ සහ වැව් මගින් පානීය ජලය අඛණ්ඩව ලබාදුන්නද වගාවන් සඳහා ජලය නිකුත් කිරීම සීමා කිරීමට සිදුවන බවය.


ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවතින වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 07ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට අයත් පුද්ගලයින් 81,605ක් පීඩාවට පත්ව සිටින බවය.

 

 

More News..