brand logo
logo
පලාගිය කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු සොයා විමර්ශන අරඹයි

පලාගිය කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු සොයා විමර්ශන අරඹයි

23 September 2026 | බිමල් ජයසිංහ-බන්ඩාරගම


දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටි බව කියන කඩදාසි සංස්ථාවේ සභාපතිවරයාගේ රියැදුරු ඊයේ (23) වැනිදා සභාපතිවරයාගේ කැබ්රථය දමා පලා යාම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.


කඩදාසි සංස්ථාවේ සභාපතිවරයා ඉකුත් පෙරේදා (21) වැනිදා කොළඹ 06 ස්ටැෆ්ඩ් පාර ප්‍රධාන කාර්යාලයේ සිට කාර්යාලය වෙත රැගෙන ඒම සඳහා කඩවත ඔහුගේ නිවස වෙත යමින් සිටියදී මෙම රියදුරා අතුරුදහන්ව තිබිණි.


කැබ් රථය නියමිත වේලාවට සභාපතිවරයාගේ නිවස වෙත නොපැමිණීම හේතුවෙන් සභාපතිවරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී රියදුරුගෙන් ඒ පිළිබඳ විමසීමේදී රථයේ ඉන්ධන කාන්දුවක් ඇති බවට දැනුම් දී තිබිණි.


වාහන අලුත්වැඩියා කරන කඩවත ප්‍රදේශයේ ස්ථානයක් පිළිබඳ පවසා එම ස්ථානයට කැබ් රථය රැගෙන ගොස් පෙන්වන ලෙස සභාපතිවරයා රියදුරුට උපදෙස් ලබා දී ඇති අතර රියදුරු එම ස්ථානයට ගොස් කැබ් රථය පෙන්වා ඇති අතර කිසිදු දෝෂයක් නොමැති බවට එම ස්ථානයේ කාර්මිකයන් විසින් රියදුරුට පවසා තිබිණි.


එදින සවස 4.00 පමණ වනතුරුත් රියදුරු කාර්යාලය වෙත නොපැමිණි බැවින් දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරූවද ඔහුගේ දුරකථනය ඒ වන විට විසන්ධි වී තිබී ඇත.


රියදුරුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කඩදාසි සංස්ථාවේ ප්‍රවාහන කළමනාකරු වන සමන් ප්‍රියංකර ප්‍රනාන්දු නැමැත්තා වැල්ලවත්ත පොලිසිය වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සටහන් කර තිබිණි.


අතුරුදහන්ව සිටි එම රියැදුරු අද (23) අලුයම 6.30 ට කඩදාසි සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වෙත කැබ් රථයෙන් පැමිණ කැබ් රථය නියමිත ස්ථානයේ නවතා ඔහු ලෑස්ති වී පැමිණෙන බවට ආරක්ෂක නිලධාරියාට දැනුම් දී පලා ගොස් ඇත.


එලෙස පලා ගිය රියදුරු සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා සහ cctv දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.


පලා ගිය රියැදුරු රාගම කැන්දලියද්ද පාලුව පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

 

More News..