brand logo
logo
නුවරඑළියේ පෝනියන් නිසා අනතුරු අවදානම ඉහළට

නුවරඑළියේ පෝනියන් නිසා අනතුරු අවදානම ඉහළට

15 September 2026 | ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය


නුවරඑළිය නගරයේ වීදිවල නිදැල්ලේ සැරිසරන පෝනියන් සහ සංචාරක කර්මාන්තය සඳහා යොදා ගන්නා පෝනියන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් හා අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් රථවාහන අනතුරු සිදුවීමේ අවදානමක් මතුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.


පසුගිය 13 වැනිදා නුවරඑළිය ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් තිබූ මෝටර් රථයක ඩෑෂ්බෝඩ් කැමරාවේ සටහන් වූ දර්ශනවලින්ද මාර්ගයට පැමිණි පෝනියෙකු හේතුවෙන් මෝටර් රථය අනතුරකට ලක්වන ආකාරය දැකගත හැකි වී තිබේ.


ප්‍රදේශවාසීන් පවසන්නේ මෙය හුදෙකලා සිදුවීමක් නොවන බවත්, මීට පෙරද නුවරඑළිය නගරය හා ඒ අවට මාර්ගවල පෝනින් මාර්ගයට පැමිණීම හේතුවෙන් අනතුරු ගණනාවක් සිදුව ඇති බවත්ය. එම අනතුරුවලදී වාහනවලට බරපතළ හානි සිදුවීම මෙන්ම පුද්ගලයන්ට බරපතළ තුවාල සිදුවූ අවස්ථාද ඇති බව ඔවුහු පෙන්වා දෙති.


නුවරඑළිය ප්‍රධාන සංචාරක නගරයක් වන බැවින් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා පෝනියන් යොදා ගැනීම සිදුවුවද, එම කටයුතු මහජන ආරක්ෂාවට හා රථවාහන ගමනාගමනයට බාධාවක් නොවන ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා පැහැදිලි නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.


පෝනි හිමිකරුවන්ගේ වගකීමද මෙහිදී දැඩි ලෙස අවධාරණය කළ යුතු කරුණක් බව ඔවුහු පවසති. තමන් සතු පෝනින් පොදු මාර්ගවලට නිදැල්ලේ ඇතුළුවීමට ඉඩ නොදීම, ඒවා නිසි පාලනයක් යටතේ තබා ගැනීම සහ සංචාරක කටයුතු සඳහා යොදා ගන්නා අවස්ථාවලදී මාර්ග ආරක්ෂාවට බාධාවක් නොවන පරිදි කටයුතු කිරීම හිමිකරුවන්ගේ වගකීමක් බව ඔවුහු පෙන්වා දෙති.


එමෙන්ම පෝනින් පිට යන පැදිකරුවන්ටද මාර්ග නීති හා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් පවතින අතර, මාර්ගයේ අනෙකුත් රථවාහන හා පදිකයන්ට අවදානමක් ඇති නොවන පරිදි පෝනින් පාලනය කරමින් ගමන් කළ යුතු බවද ප්‍රදේශවාසීහු අවධාරණය කරති.


නුවරඑළිය මහ නගර සභාවටද මෙම තත්ත්වය සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැකි බව ප්‍රදේශවාසීහු පවසති.


මහ නගර සභා ආඥා පනත යටතේ මහජන සෞඛ්‍යය, මහජන ආරක්ෂාව සහ නගරයේ පොදු පහසුකම් සම්බන්ධයෙන් මහ නගර සභාවට පැවරී ඇති වගකීම් අනුව, පෝනින් සම්බන්ධ මෙම ගැටලුව සඳහාද නිසි නියාමන හා පාලන ක්‍රමවේදයක් සකස් කිරීම අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති.


මාර්ගවල නිදැල්ලේ සැරිසරන පෝනින් සම්බන්ධයෙන් හිමිකරුවන්ගේ වගකීම තහවුරු කිරීම, සංචාරක කටයුතු සඳහා පෝනින් යොදාගැනීමේදී නිශ්චිත නීති හා ස්ථාන හඳුන්වාදීම සහ එම නියමයන් ක්‍රියාත්මක කිරීම සඳහා මහ නගර සභාව හා අදාළ අනෙකුත් ආයතන ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ප්‍රදේශවාසීහු පවසති.


අනතුරු ගණනාවක් සිදුව තිබියදීත් තවත් බරපතළ අනතුරක් සිදුවන තෙක් බලා නොසිට, නුවරඑළිය නගරයේ පෝනින් සම්බන්ධයෙන් කඩිනම් හා ස්ථිර නියාමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

More News..