සත් සාමාජික රග්බි පිටිය හෙට සිට සක්‍රිය වේ
20 March 2026
සත් සාමාජික රග්බි පිටිය හෙට සිට සක්‍රිය වේ
20 March 2026
ශ්‍රී ලංකා රග්බි ආයතනය සංවිධාන කරන සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර හෙට (21 වැනිදා) සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිටියේදී ඇරැඹීමට නියමිතය.
පිරිමි තරගාවලිය සඳහා දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජ කණ්ඩායම් 8ක් හා එක් විදෙස් කණ්ඩායමක් සහභාගි වන අතර කාන්තා තරගාවලිය සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් සහභාගි වේ. ඊට අමතරව පළාත් කණ්ඩායම් සහභාගිවන කාන්තා තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් ගණන 8කි.
තරගාවලියේ මූලික වටයේ තරග 24ක් හෙට උදෑසන 9 සිට දිනය පුරා පැවැත්වෙන අතර කුසලාන, පළඟ, බඳුන සහ පළිහ ශූරතා සඳහා වන අවසන් තරග ඇතුළු තරග 21ක් සමගින් අනිද්දා (22 වැනිදා) දිනයෙන් තරගාවලියේ පළමු අදියර අවසන් වීමට නියමිතව ඇත.
මේ අතර සත් සාමාජික රග්බි ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩභාර ගැනීමට නියමිත ප්‍රංශ ජාතික පුහුණුකරු තියරි ජැනෙක්සෙක් ද සත් සාමාජික තරගාවලිය අධීක්ෂණය කිරීම සඳහා අද (20 වැනිදා) මෙරටට පැමිණීමට නියමිතව ඇත. අනතුරුව ඔහු අප්‍රේල් මස සිට මාස 6ක කාලයක් දක්වා මෙරට සත් සාමාජික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය. එළැඹෙන සැප්තැම්බර් මස ජපානයේදී ඇරැඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනා ගැනීම අරමුණු කර ගනිමින් ඔහුගේ සේවය ලබා ගැනෙන අතර එහි ප්‍රතිඵල මත ඉදිරි කටයුතු තීරණය වනු ඇති බව වාර්තා වේ.
ප්‍රංශ ජාතික කණ්ඩායම නියෝජනය කළ තියරි 1993 වසරේදී සත් සාමාජික ලෝක කුසලාන තරගාවලියට ද සහභාගි විය. අනතුරුව ඔහු 1996 සිට 2010 දක්වා ප්‍රංශ සත් සාමාජික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ 2014 වසරේ චීනයේ පැවති යොවුන් ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම දිනා ගැනීමට ප්‍රංශ වයස අවුරුදු 18න් පහළ කණ්ඩායම සමත්ව ඇත.

