Best News Website award
brand logo
logo
මෙරට මැලේරියා රෝගීන් හමුවීමේ වර්ධනයක්

මෙරට මැලේරියා රෝගීන් හමුවීමේ වර්ධනයක්

26 November 2026 | ශිරාන් රණසිංහ


මැලේරියා රෝගය 2016 වසරේදී මෙරටින් තුරන් කළත් විදෙස්ගතව සිට මෙරටට එන අය හරහා මෙරටින් රෝගීන් හමුවන බවත් මෙම වසරේදීත් රෝගීන් 39 දෙනකු හමු වී ඇති බවත් මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය පුබුදු චූලසිරි පැවැසීය.


මෙම රෝගීන් කලින්ම හඳුනා ගැනීමට නොහැකි වුවහොත් ඒ අය හරහා නිරෝගී පුද්ගලයන් ලක්ෂ ගණනකට රෝගය පැතිර යා හැකි බවද ඔහු සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක බොහෝමයක මැලේරියාව පතුරවා හරින මදුරුවා සිටින බවද, ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයා කීවේය.


ලෝකයේ මැලේරියා රෝගීන් මිලියන 282 ක් පමණ වාර්තාවන බවත් මැලේරියා වැලඳී පුද්ගලයන් ලක්ෂ හයක් පමණ වසරකට මියයන බවත් හෙතෙම පැවැසීය.


රෝගීන් හමුවීම සැලකිල්ලට ගැනීමේදී රෝගීන්ගෙන් සියයට අනූවක්ම (90%)වාර්තා වන්නේ අප්‍රිකානු රටවල්වලින් බවත්, ඊට අමතරව දකුණු ඇමරිකානු සහ අග්නිදිග ආසියානු රටවල්වලින් ද රෝගීන් වාර්තාවන බවත් ඔහු පෙන්වා දුන්නේය.


තවද එවැනි රටවල්වල සංචාරය කර මෙරටට එන අයට වසරක් තුළ රෝගයට ගොදුරු විය හැකි බව ද ඔහු කීවේය.


ඒ අනුව බලන කල එම මැලේරියා පවතින රටවලට යන අයට රෝගය වැලඳෙන බවත්, 2025 දී මෙරටින් මැලේරියා රෝගීන් 42 ක්, 2024 දී රෝගීන් 38 ක් සහ 2023 දී රෝගීන් 62 ක් ද හමු වූ බවත් ඔහු පැවැසීය.


ඒ අනුව ඉන්දියාවේ වන්දනාවේ යන අය සහ අනෙකුත් හේතු මත මැලේරියා පවතින රටවලට ගොස් පැමිණෙන අය වෛද්‍ය පර්යේෂණවලට යොමු වී පරීක්ෂා කර ගැනීමෙන් මැලේරියාව මෙරට පැතිර යාම වළක්වාගත හැකි බව ද ඒ මහතා පැවැසීය.


සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මෙම තොරුතුරු අනාවරණය විය.

 

More News..