brand logo
logo
කවුරු නිෂ්පාදනය කළත් සබන් SLS ප්‍රමිතියට නිෂ්පාදනය විය යුතුයි

කවුරු නිෂ්පාදනය කළත් සබන් SLS ප්‍රමිතියට නිෂ්පාදනය විය යුතුයි

18 August 2026 | නිරෝෂා වාසල

පාලන මිල ඉක්මවා අලෙවිකරණ භාණ්ඩ සහ සේවා, ප්‍රමිතියෙන් තොර අටපිරිකර, හිස් ආවරණ (හෙල්මට්), කල් ඉකුත්වූ රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් රසායනාගාර පරීක්ෂණ කරන ආයතන ආදිය පිළිබඳව මේ දිනවල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ අවධානයක් යොමු වී ඇති බව කියැවෙයි. ඊට අදාළව දිවයින පුරා වෙළෙඳපොළ පරීක්‍ෂා කිරීම් මෙන්ම ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන් හා නීති විරෝධී ව්‍යාපාර වැටලීම් කරමින් සිටින බව එම අධිකාරිය කියයි. ඒ ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩ බලන) සමන්තා කරුණාරත්න සමග "අරුණ" කළ සාකච්ඡාවකි මේ.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සතියේදී රට පුරා තිබෙන අටපිරිකර අලෙවි කරන වෙළෙඳ ආයතන ඉලක්ක කරගනිමින් විශේෂ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව දැනගන්න ලැබුණා. අපි මුලින්ම ඒ ගැන කතා කරමු?


ඔව්. අටපිරිකර හා පිරිකර භාණ්ඩ අලෙවි කිරීමේදී අදාළ නීතිමය කාරණා අනුගමනය කරනවාදැයි පරීක්ෂා කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2026 අගෝස්තු 10 වෙනිදා දිවයින පුරා අටපිරිකර හා ඒ ආශ්‍රිත පිරිකර භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන ඉලක්ක කරගනිමින් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කළා. 2015.06.11 දිනැති අංක 1918/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 55 දරන විධානය යටතේ අදාළ භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කර තිබේ ද යන්න සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපදිනවාද යන්න පිළිබඳවයි අපි එහිදී පරීක්ෂා කළේ. එපමණක් නොවෙයි වෙළෙඳුන් විසින් පවත්වාගෙන යා යුතු බිල්පත්, ඉන්වොයිසි සහ අනෙකුත් අදාළ ලේඛන සම්බන්ධයෙනුත් විමර්ශනයක් කළා. මේ විශේෂ වැඩසටහන යටතේ දිවයින පුරා සාර්ථක වැටලීම් 92ක් කරන්න අපට පුළුවන් වුණා. අගෝස්තු දහවෙනිදා කළ විශේෂ වැටලීමට අමතරව 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් 35ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කරලා තියෙනවා. ඒ අනුව 2026 වසරේ මේ දක්වා කාලය තුළ අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් කර තිබෙන වැටලීම් සංඛ්‍යාව 127ක් පමණ වෙනවා.


අගෝස්තු දහවෙනිදා අටපිරිකර සම්බන්ධයෙන් කළ විශේෂ විමර්ශනවලින් අනාවරණය කරගත් කරුණු මොනවද?


එම වැටලීම්වලදී වාර්තා වූ බහුතර උල්ලංඝනයන් අංක 55 දරන විධානයට අදාළයි. ඒ අනුව අටපිරිකර, තනිපට සිවුරු, අඳනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් නොකිරීම සහ නියමිත ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන හඳුනා ගත්තා. එදින කළ වැටලීම් අනුව නීති උල්ලංඝනයට අදාළ අටපිරිකර, සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩ විශාල ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් භාරයට ගැනුණා.


එම විශේෂ වැඩසටහනේ දී අපේ විමර්ශන නිලධාරීන් අටපිරිකරවල පිටත ඇසුරුම පමණක් පරීක්ෂා කිරීම වෙනුවට, අහඹු ලෙස තෝරාගත් අටපිරිකර විවෘත කර ඒවා තුළ තිබෙන පිරිකර භාණ්ඩ පරීක්ෂා කිරීමටත් කටයුතු කළා. එහිදී ඇතැම් අටපිරිකරවල දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම, අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොවීම, මිල අනුව ඇතුළත් කර ඇති භාණ්ඩ වෙනස් වීම, ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කළ පාත්‍ර, තැලී ගිය පාත්‍ර සහ මළ බැදුණු දැළි පිහි ඇතුළත් කරතිබීම වැනි අක්‍රමිකතා පිළිබඳ අනාවරණය වී තිබෙනවා. ඇත්තටම අටපිරිකර තුළ තිබෙන භාණ්ඩවල අක්‍රමිකතා පාරිභෝගිකයාට පිටත ඇසුරුම නිරීක්ෂණය කිරීමෙන් පමණක් පහසුවෙන් හඳුනාගන්න බෑ. ඒ නිසා විශේෂයෙන් ආගමික අවශ්‍යතාවක් සඳහා සම්පූර්ණ අටපිරිකරක් මිලදී ගැනීමේදී එහි ඇතුළත් භාණ්ඩ පිළිබඳව සැලකිලිමත් වන ලෙස අපි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.


ඔබ එහෙම කිව්වට බොහෝ වෙළෙඳුන් අටපිරිකරවල ඇතුළත තිබෙන දෑ පරීක්‍ෂා කරන්න පාරිභෝගිකයන්ට ඉඩ දෙන්නේ නැහැනේ?


අටපිරිකර හා පිරිකර අලෙවියේ දී භාණ්ඩවල සහ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කිරීම, පාරිභෝගිකයාට අලෙවි කරන භාණ්ඩවල නිසි තත්ත්වය තහවුරු කිරීම සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපැදීම වෙළෙඳුන්ගේ වගකීමක්. ඒ වගේම ප්‍රමිතියෙන් යුතු භාණ්ඩයක් මිලදී ගැනීමට පාරිභෝගියාටත් අයිතියක් තියෙනවා. පාරිභෝගිකයන්ගේ ඒ අයිතිය ආරක්ෂා කිරීම සඳහා වෙළෙඳුන් කටයුතු කළයුතුයි.


පාරිභෝගික අයිතීන් ආරක්ෂාවන පරිදි කටයුතු නොකරන වෙළෙඳුන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග මොනවාද?


අටපිරිකර පමණක් නොවෙයි ඕනෑම භාණ්ඩයක් හෝ නිෂ්පාදනයක් නිසි ප්‍රමිතියට යුක්තව අලෙවි නොකරන සියලුම වෙළෙන්දන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. පසුගිය දහවෙනිදා කළ වැටලීම්වලදී අනාවරණය කරගත් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව අදාළ මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට අපි මේ වනවිට කටයුතු කරමින් ඉන්නවා. අටපිරිකර හා පිරිකර පමණක් නොවෙයි අනෙකුත් භාණ්ඩ අලෙවිය සම්බන්ධයෙනුත් මෙවැනි අහඹු වෙළෙඳපොළ පරීක්ෂණ සහ විශේෂ වැටලීම් ඉදිරියටත් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දවස්වල ඖෂධ සම්බන්ධයෙනුත් විශේෂ වැටලීම් කරනවා නේද?


ඔව්. භාණ්ඩයක් අලෙවි කිරීමේදී ඒ භාණ්ඩයේ මිල, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, කාණ්ඩ අංකය, පරිමාව, බර ආනයනය කළ රට, ආනයනකරුගේ නම ලිපිනය ආදිය ඇතුළත් කළ යුතු බවට අධිකාරිය ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බටහිර හෝ දේශීය ඖෂධ අලෙවි කරන ඔසුසල් හා අනෙකුත් අලෙවි මධ්‍යස්ථාන පවා මේ ගැසට් පත්‍රයේ සඳහන් කාරණා අනුගමනය කරනවාද කියලා අපි හොයලා බලනවා. ඒ වගේම භාණ්ඩ සිල්ලර වෙළෙන්දාට ලැබීම දක්වා ක්‍රියාවලිය එහෙමත් නැත්නම් භාණ්ඩය ආනයනය කිරීමේ සිට සිල්ලර වෙළෙන්දාට ඒ භාණ්ඩය ලැබීම දක්වා ක්‍රියාවලියට අදාළ තොරතුරු සහ බිල්පත් සියල්ල වෙළෙඳුන් ළඟ තිබිය යුතුයි ලෙස තවත් ගැසට් පත්‍රයක් තියෙනවා. ඖෂධ වලටත් මේ ගැසට් පත්‍රය අදාළයි. මෙන්න මේ සම්බන්ධව අවධානය යොමු නොකර කටයුතු කරන වෙළඳුන්ට එරෙහිවත් අපි ක්‍රියාමාර්ග ගන්නවා.


බැගේජ් ඖෂධ අලෙවි කරන ඔසුසල් විශාල සංඛ්‍යාවක් මේ වන විට ලංකාවේ තියෙනවා කියන්නේ ඇත්තද?


ඔව්. විවිධ පුද්ගලයන්ට වුවමනා පරිදි ලංකාවට ඖෂධ ගේන්න බැහැ. බැගේජ් හැටියට ඖෂධ ගේන්නත් බෑ. මොකද ජාතික ඖෂධ නියාමන අධිකාරිය තියෙනවනේ. ඒත් සමහර වෙලාවට පිටරට ගිහින් එන යම් යම් පුද්ගලයින් විවිධාකාරයේ ඖෂධ විශාල ප්‍රමාණයක් ගෙනැවිත් වෙළෙඳපොළට මුදා හරිනවා. විශේෂයෙන්ම රූපලාවණ්‍ය ආලේපන, විවිධ වේදනානාශක ඒ අතර තියෙනවා. ඇත්තටම මේ නිෂ්පාදන සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකුගේ අනුමැතිය නොමැතිව පාවිච්චි කිරීම පවා නොකළ යුතුයි. ඒත් නිසි නියාමනයක් පවා නොමැතිව හොර පාරෙන් ඖෂධ ගෙනැවිත් සමහරු ඔසුසල්වලට දානවා. මිල ගණන් අඩු නිසා ඔසුසල් හිමියනුත් මේ ඖෂධ මිලට ගන්නවා. එවැනි ඖෂධ මිලදී ගන්න ඇත්තටම ඔසුසල් හිමියාට අයිතියක් නැහැ. ඔසුසල් හිමියන් අලෙවි කළ යුත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලත් ඖෂධ හා රූපලාවණ්‍ය ආලේපන පමණයි. එවැනි අනුමැතියක් හෝ නියාමනයක් නොමැති ඖෂධ අලෙවි කරන්නන් සම්බන්ධයෙනුත් අපි මේ දිනවල විශේෂයෙන් හොයලා බලනවා.


වෙළෙඳපොලේ අලෙවි කරන සබන් නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අලුත් නියෝගයක් නිකුත් කළ බව දැනගන්න ලැබුණා. අපි ඒ ගැනත් කතා කරමු?


වෙළෙඳපොළේ ඇති සබන් ආනයනය කිරීම, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම හෝ විකිණීම ආදිය කිරීමේදී ඒවායේ ඇසුරුම්වල හෝ ලේබලයේ නිශ්චිත තොරතුරු මුද්‍රණය කර තිබීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නව විධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් පසුගිය දිනයක නිකුත් කළා. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව පනවා ඇති මේ නව නියෝගය සියලුම සබන් නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් සහ වෙළෙඳුන්ට අදාළ වන පරිදි ක්‍රියාත්මකයි. ඒ අනුව අදාළ සබන් නිෂ්පාදන නාමය ඝන අකුරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම හෝ එම භාෂා අතුරින් භාෂා දෙකකින් ප්‍රධාන රාමුව මතත්, අනෙක් භාෂාවෙන් වෙනත් ඕනෑම රාමුවකත් පැහැදිලිව සටහන් කළ යුත‍යි. ඊට අමතරව ඇසුරුම් කරන ලද අවස්ථාවේදී අදාළ නිෂ්පාදනයේ අඩංගු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය (TFM) ප්‍රතිශතයක් ලෙස පැහැදිලිව, හොඳින් පෙනෙන පරිදි මිලිමීටර් 2 ට නොඅඩු ඝන අකුරින් ඇසුරුම මත මුද්‍රණය කිරීමත් අනිවාර්ය කරලා තියෙනවා. මෙම නව රෙගුලාසි මාලාව ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, ෂේවීන් සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් යන සබන් වර්ග සඳහා අදාළයි. 2027 වර්ෂයේ ජූලි මස 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම නව විධිවිධාන ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.


මේ වන විට සුළු පරිමාණ ව්‍යාපාරවල නිරත වන යම් පිරිසක් නිවසේදීම සබන් නිෂ්පාදනය කරලා අලෙවි කරනවා. ඔවුන්ටත් ඔබ ඔය ඉහතින් සඳහන් කළ ගැසට් පත්‍රයේ කාරණා අදාළයිද?


අනිවාර්‍යෙන්ම ඔව්. කවුරු සබන් නිෂ්පාදනය කළත් ඔවුන්ට වුවමනා ආකාරයට සබන් නිෂ්පාදනය කරන්න හෝ විකුණන්න පුළුවන්කමක් නැහැ. මොකද ඔවුන් ඒ නිෂ්පාදනය කරන්නේ තවත් පිරිසකට පරිභෝජනය කිරීම සඳහානේ. ඒ නිසා කවුරුන් හෝ එවැනි නිෂ්පාදනයක් කරනවා නම් අනිවාර්යෙන්ම ගුණාත්මකභාවය පිළිබඳව හා ප්‍රමිතිය පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. ඇත්තටම SLS අනිවාර්යයි කියලා නෙමෙයි අපි මේ කියන්නේ. SLS ප්‍රමිතියට අනුව මේවා නිෂ්පාදනය විය යුතුයි කියලයි අපි කියන්නේ.


හෙල්මට් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විශේෂ වැටලීමක් කරනවා කියන කතාව ඇත්තද? හෙල්මට්වලින් ඔලුව ආරක්ෂා වෙනවා නම් ප්‍රශ්නයක් නැහැනේ, ප්‍රමිතියක් හොයන්නේ මොකටද කියලත් සමහරු අහලා තිබුණා?


ඇත්තටම හෙල්මට් එකක් කියලා කියන්නේ ඔළුවේ ආරක්ෂාව පමණක් නොවෙයි. හෙල්මට් එක පුද්ගලයෙක්ගේ ජීවිතයේම ආරක්ෂාව කියලා කිව්වත් වරදක් නැහැ. පසුගිය දවස්වල යතුරුපැදිය අනතුරු නිසා මියගිය අය බොහෝ දෙනෙක් පාවිච්චි කළ හෙල්මට් පිළිබඳ අවධානය යොමු කළොත් ඒවායෙන් බොහොමයක් ප්‍රමිතියට අනුකූල හෙල්මට් නොවෙයි. ඒ නිසා ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රමිතියෙන් යුක්ත හෙල්මට් එකක් පලඳින්න කියලා අපි මහජනතාවට කියනවා. හෙල්මට් එක කියන්නේ ආරක්ෂාවට මිස ලස්සනට පලඳින දෙයක් නොවෙයි. මේ දිනවල අපේ වැටලීම් අංශයේ නිලධාරීන් ලංකාව පුරා තිබෙන හෙල්මට් අලෙවි මධ්‍යස්ථාන සියල්ල නිරීක්ෂණය කරනවා. මේ වන විට 431ක් වැටලීම් කරලා තියෙනවා. SLS 17 නොමැති, සැපයුම්කරුවන්ගේ විස්තර නොමැති, SLS සහතිකය ව්‍යාජ ලෙස යෙදූ හෙල්මට් වෙළඳපොළේ ඕනෑ තරම් තියෙනවා. ප්‍රමිතියට නැති භාණ්ඩවලට අහුවෙලා ජීවිතය අනතුරේ දාගන්නේ නැතිව ප්‍රමිති සහගත දේ මිලදී ගන්න කියලයි අපි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලන්නේ. අනෙක මිලදී ගන්නා සියලුම භාණ්ඩ සඳහා බිල් පතක් ගන්න අමතක කරන්නත් එපා. ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපට ඒ බිල්පත ඉතාම වැදගත්. අනෙක ප්‍රමිතියෙන් යුක්ත ඕනෑම භාණ්ඩයක් වෙළඳපොලේ අලෙවි කරන්න තියෙනවා නම් ඒ පිළිබඳව පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න කියලත් අපි මහජනතාවට දැනුම් දෙනවා. 1977 අපේ කෙටි දුරකථන අංකය ඒ සඳහා ඕනෑම වෙලාවක විවෘතයි. එවැනි පැමිණිලි සම්බන්ධයෙන් අපි වහාම ක්‍රියාත්මක වෙනවා වගේම අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරනවා.

 

More News..