නීතිඥ සංගමය සිදුකර ඇති ප්රකාශය පොලිස් මාධ්ය ප්රකාශක ප්රතික්ෂේප කරයි
27 October 2026
නීතිඥ සංගමය සිදුකර ඇති ප්රකාශය පොලිස් මාධ්ය ප්රකාශක ප්රතික්ෂේප කරයි
27 October 2026
හෝමාගම පොලිසියේ අත්අඩංගුවේ සිටියදී තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ප්රකාශයක් තරයේ ප්රතික්ෂේප කරන බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
නීතිඥ සංගමය සිය නිවේදනයේ සඳහන් කර ඇති පරිදි තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්රකාශයක් සිදුකර නොමැති බව ඔහු අවධාරණය කරයි.
එමෙන්ම, නීතිඥ සංගමය විසින් සිදුකර ඇති මෙම ප්රකාශය පිළිබඳ තමන් කනගාටුවට පත්වන බව ද පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේය.
හෝමාගම පොලීසියේ අත්අඩංගුවේ සිටියදී මියගිය ඉෂාර හර්ෂ කුමාරගේ මරණය සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් දැඩි කනස්සල්ල පළ කර තිබුණි.
එමඟින් ඔවුන් පවසන්නේ ඉෂාර හර්ෂ කුමාරගේ පවුලේ සාමාජිකයින් ඔහුට දැඩි ලෙස පහරදී ඇති බව පෙනී යන ශාරීරික තුවාල නිරීක්ෂණය කළ බව ප්රකාශ කරද්දී, පොලිස් මාධ්ය ප්රකාශකවරයා ඊට පටහැනිව මෙහෙයුමක් අතරතුර සැකකරු හදිසි අසනීප තත්ත්වයකට මුහුණ දී ඇතැයි ප්රකාශ කර ඇති බවය.
එවන් පසුබිමක මෙම මරණයට හේතු වූ පසුබිම ස්වාධීන ලෙස තහවුරු කර ගැනීමත්, ඉදිරිපත්ව ඇති පරස්පර ප්රකාශ සහ ගැටලු විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයකට ලක් කිරීමත් අත්යවශ්ය බව ශ්රී ලංකා නීතිඥ සංගමය පවසා තිබුණි.
කෙසේ නමුත් පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසනුයේ තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්රකාශයක් සිදුකර නොමැති බවත් නීතිඥ සංගමයේ එම ප්රකාශය තරයේ ප්රතික්ෂේප කරන බවත්ය.

