විනය කඩන පොලිස් නිලධාරීන්ට වෙන දේ පොලිස්පති කියයි
03 October 2026
විනය කඩන පොලිස් නිලධාරීන්ට වෙන දේ පොලිස්පති කියයි
03 October 2026
පොලීසිය හමුවේ ප්‍රධාන අභියෝග තුනක් පවතින බවත්, ඒවා ජය ගැනීම සඳහා මානව සම්පත් සංවර්ධනය, නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය මෙන්ම යටිතල පහසුකම් සහ විනය පාලනය ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටින බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ මොණරාගල පොලිස් කොට්ඨාසයට අයත් බුත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නිල නිවාසය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ පොලිස්පතිවරයා අවධාරණය කළේ සංවිධානාත්මක අපරාධ මර්දනය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු මත්ද්‍රව්‍ය ව්‍යසනය මර්දනය කිරීම සහ රථවාහන පාලනය හෙවත් මාර්ග විනය පවත්වාගෙන යාම දැනට පවතින ප්‍රධානතම අභියෝග තුන බවය.
විනය පාලනයක් නැති ආයතනයක් කඩා වැටීම වැළැක්විය නොහැකි බැවින් පොලිස් නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව ක්‍රියා කරන බව ද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම වසරකට නිලධාරීන් 2,000 – 2,500ත් අතර සංඛ්‍යාවක් විශ්‍රාම යන අතර, හදිසි අනතුරු සහ ස්වාභාවික හේතූන් මත තවත් 250ක් පමණ මියයාම හෝ ආබාධිත තත්ත්වයට පත් වන බවද මෙහිදී පොලිස්පතිවරයා සඳහන් කර සිටියේය.
ඒ අනුව දැනට ශ්‍රී ලංකා පොලීසිය තුළ 38,000 – 40,000ක පමණ නිලධාරී හිඟයක් පවතින බවත්, එම හිඟය පියවීම සඳහා නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ මේ වන විට 1,500ක් පමණ බඳවාගෙන ඇති අතර, තවත් 950ක් පමණ ළඟදීම බඳවා ගැනීමට කටයුතු යොදා ඇති බවය.
එමෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ පැවැති උසස්වීම් ප්‍රමාදයන් නැවැත්වීමට පියවර ගෙන ඇති බවද මෙහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේය.
2019 දක්වා පැවැති ප්‍රමාදයන් නිලධාරීන් 4,000කට වැඩි පිරිසකට උසස්වීම් ලබා දෙමින් අවසන් කළ අතර, ඉන්පසුව 2025 දක්වා කාලසීමාව වෙනුවෙන් තවත් 2,000කට ආසන්න පිරිසකට උසස්වීම් ලබා දී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
දැනට පැවැත්වෙන කුසලතා සම්මුඛ පරීක්ෂණ සහ ඉදිරි තරග විභාග හරහා මෙතෙක් පැවැති උසස්වීම් පිළිබඳ ගැටලුව මෙම වසර තුළ සම්පූර්ණයෙන්ම විසඳීමට නියමිත බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව ලබන වසරේ සිට වසරක් පාසා නිසි වේලාවට උසස්වීම් ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරන බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර සංකීර්ණ සමාජයක ගැටලු සහ අපරාධ විසඳීම සඳහා නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය වන බවත්, ඒ වෙනුවෙන් විශේෂ පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරන බවත් ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ හරහා පොලිස් කොස්තාපල්වරුන්ට ද විදේශ ශිෂ්‍යත්ව සඳහා අවස්ථාව ලබා දී ඇති බවය.
මේ වන විට 1,000කට ආසන්න පිරිසක් විදේශ පුහුණු සඳහා යොමු කර ඇති බවත්, ඉදිරියේදී අවශ්‍ය ඉංග්‍රීසි දැනුම සහිත ඕනෑම නිලධාරියෙකුට තරාතිරම නොබලා ඉන්දියානු ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා,
"පැය ගණන විතරක් පොතෙන් වැඩ කරලා, ගියා කියලා සන්තෝස වෙන්න බෑ. ඒ හින්දා එහෙම සන්තෝස වෙච්ච කට්ටියට ජීවිතයේ යම්කිසි දවසක පසුතැවීමක් වෙනවා. මොකද, මගේ කාලයේ මා කළ යුතු දේවල් කිසිම දෙයක් නිසියාකාරයෙන් කළේ නෑ කියලා..
ඒ නිසා මම පොලීසියේ පහළම ස්තරයේ ඉඳලා, අද මෙහෙම කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, මම මං ගැන පසු විපරමක් තිබුණ හින්දා. ඒ පසු විපරම තුළ මම පොලිස්පති වුණාට පස්සෙත්, මගේ අවුරුද්ද තුළ මගේ වැඩබලන පොලිස්පති විදිහට කරපු වැඩ ටිකත්, ඊට පස්සේ පොලිස්පති තනතුර ලැබීමෙන් පසුව කරපු දේවල් සම්බන්ධයෙනුත් මට පසු විපරමක් තිබුණා.
ඒ කාර්ය සාධනයේ මා ඉෂ්ට කළ යුතුයි, ඒ ඉෂ්ට කළ යුතු වෙන්නේ මට බැබලෙන්න නෙමෙයි, මගේ සේවය බැබලෙන්න. මගේ මේ පොලිස් සේවය කියන සේවය බැබලෙන්න අවශ්‍යයි. ඒ නිසා ඒ සේවය බැබලෙන්න නම්, ඒ බැබලෙන්න ඕන මහජනයා ඉස්සරහා. මහජනයාට නොගැලපෙන පොලීසියක්, මහජන විශ්වාසය නැති වූ පොලීසියක්... කවදාවත් අපිට මහජන විශ්වාසයකින් තොරව පොලීසියක් පවත්වාගෙන යන්න බෑ.''

