Best News Website award
brand logo
logo
නැගිටපල්ලා නැගිටපල්ලා දෙසැම්බර් හැම්පර් ඇවිල්ලා

නැගිටපල්ලා නැගිටපල්ලා දෙසැම්බර් හැම්පර් ඇවිල්ලා

22 November 2026 | සංජය නල්ලපෙරුම


තව සතියකින් එන්නේ නත්තල් මාසයය. නත්තල ගැන කී විට අපට සිහිවන්නේ නත්තල් සීයාය. එනමුත් ජාතික ජන බලවේගයේ කඩුවෙල නගරාධිපති සේම ජනතා විමුක්ති පෙරමුණේ විදුලිබල වෘත්තීය සමිතියේ සභාපති වූ රන්ජන් ජයලාල්ට මතක් වූයේ හැම්පර්ය. පසුගිය කාලයේදී දිගින් දිගටම ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් හැම්පර් ගැන මෙතෙක් කිසිදු දේශපාලනඥයෙක් කතාවත් කීවේය. මාධ්‍ය ආවරණයක් සහිතව තිබූ ප්‍රසිද්ධ සභාවකදී ඔහු පැවසුවේ දුක්විඳින අවසන් නගරාධිපතිවරුන් බවට පත්විය යුතු බවය. ඔහු කීවේ බොහෝ රාජ්‍ය ආයතනවලට අවුරුද්ද අන්තිමේදී තෑගි පාර්සල් එන නමුත්, ජාතික ජන බලවේගය ආණ්ඩුව බලට පත්වූ පසුව එම තෑගි පාර්සල් පැමිණීම අඩුවී තිබෙන බවය. ඔහු කීවේ තමන්ගේ නිෂ්පාදනයේ අතිරික්තයෙන් කොටසක් දෙන්නේ නම් ඒවා දෙන ලෙසය. ඔහු කියා තිබුණේ අපිත් හොඳට කන බොන මිනිසුන් බවය.


රන්ජන් ජයලාල්ගේ ප්‍රකාශය දේශපාලන වේදිකාව රත් කළේ ඔහු ප්‍රසිද්ධ සභාවකදී අල්ලස් ඉල්ලූ බව කියමිනිය. ආණ්ඩුව තුළින්ම රන්ජන් ජයලාල්ගේ ප්‍රකාශයට ලැබුණේ එතරම් හොඳ ප්‍රතිචාර නොවේ. රන්ජන් ජයලාල් මෙන්ම දේශපාලනයේ කට කැඩුණ කතා කියන ලාල් කාන්ත ඇමැතිවරයා එයට ප්‍රතිචාර දක්වා තිබුණේය.


“අල්ලස් හෝ දූෂණ සම්බන්ධ පනතට අනුව, ඒවායේ වගන්ති අනුව තෑග්ගක්වත් ගන්න බෑ. අපි සියලු රාජ්‍ය නිලධාරීන්ට හා මහජන නියෝජිතයන්ට කියන්නේ නත්තල් කාලය එනවා. එක එක කොම්පැනිවලින්, ආයතනවලින් තෑගි හම්බවෙන්න පුළුවන්. ඒවා ගන්න එපා. ඒවා ගැනීම පවා අල්ලස් ගැනීමේ වරදක් බවට පත්වෙනවා. තේ එකක් බිව්වත් අල්ලස් ගැනීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ නිසා රන්ජන් ජයලාල් සහෝදරයා කියපු කතාව වැරදියි. ඒ කතාව අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ අදහස අපේ ආණ්ඩුවේ හෝ, අපේ පක්ෂයේ හෝ ජාතික ජන බලවේගයේ හෝ වැඩසටහනේ අන්තර්ගත දෙයක් නෙමෙයි. ඔහුට හිතුණ කතාවක් කියන්න ඇති. පක්ෂය විසින් මේ වගේ ප්‍රකාශ කරන්න එපා කියලා අවවාද කරනවා. ඉවත් කරන්න තරම් බරපතළ එකක් සේ අපි සලකන්නේ නෑ” ලාල් කාන්ත ඇමැතිවරයා කීවේ කට කැඩුණ කතා කීම නිසා පක්ෂය විසින් තමන්ටත් අවවාද කර තිබෙන බව සිහිපත් කරමිනි.


වසන්ත සමරසිංහ ඇමැතිවරයා නම් කීවේ, රන්ජන් ජයලාල් තෑගි භෝග එකතු කරන අයෙක් නොවන බවය. නගරාධිපතිවරයාගේ ප්‍රකාශයට අනවශ්‍ය ප්‍රචාරයක් දෙන බව ඔහුගේ අදහස විය.


සුනිල් හඳුන්නෙත්ති ඇමැතිවරයාත් රන්ජන් ජයලාලගේ හැම්පර්ස් කතාව දැඩි විවේචනයට ලක් කළේය. එම ප්‍රකාශය වැරදි බව කියූ හඳුන්නෙත්ති ඇමැතිවරයා කීවේ මොළයේ අසනීපයක් නිසා මෙවැනි කතාවක් කරන්න ඇති බවය. ජාතික ජන බලවේගයේ හෝ ආණ්ඩුවේ හිතවතුන් මේ ප්‍රකාශ තැකීමක් නොකළ යුතු බවය.


“මේක පුද්ගලිකවත් කළ යුතු ප්‍රකාශයක් නෙමෙයි. අපි නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරනවා කියන්නේ නීතිය මුලින්ම අපිට අදාළ කරගැනීම. කලින් ආණ්ඩුවලට ගෙනාපු තෑගි බෝග අපිටත් දෙන්න කීම අල්ලස් ඉල්ලීමක්. මේක ගැන පක්ෂයක් විදියට අපි විනය ක්‍රියාමාර්ග ගන්නවා. මේ වගේ ප්‍රකාශ ප්‍රසිද්ධියේ විතරක් නෙමෙයි, අප්‍රසිද්ධියේවත් කළ යුතු නෑ. ලංකාවේ පක්ෂ විනයක් ඇතිව දේශපාලනය කරන පක්ෂයක් අපි. තමන් අතින් වූ වරද ප්‍රසිද්ධියේ ඔහු නිවරදි කළ යුතුයි” සුනිල් හඳුන්නෙත්ති කීවේ රූපවාහිනී මාධ්‍ය නාලිකාවක් සමග සාකච්ඡාවකදීය.


ප්‍රසිද්ධියේ හැම්පර්ස් ඉල්ලූ රන්ජන් ජයලාල් ප්‍රසිද්ධියේම සමාව ඉල්ලා සිටිය යුතු බව හඳුන්නෙත්ති ඇමැතිවරයා ප්‍රකාශ කර සතියකට වඩා වැඩි කාලයක් ගතවී ඇති නමුත් තවමත් රන්ජන් ජයලාල් ප්‍රසිද්ධියේ සමාව ගෙන තිබුණේ නැත.


රන්ජන් ජයලාල්ගේ කතාවෙන් ප්‍රසිද්ධියේ සාකච්ඡාවට ලක්වූ හැම්පර්ස් ගැන දැන් කතාබහට ලක්වුවත් ලෝකයට නම් හැම්පර්ස් කතාව අලුත් දෙයක් නොවේ. අලුත් අවුරුද්දට තෑගි බෝග හුවමාරු කරගැනීම අපේ රටේ සංස්කෘතියේ කොටසක් බවට පත්ව තිබෙන ලෙසටම හැම්පර්ස් හුවමාරු කරගැනීම බටහිර සංස්කෘතියේ කොටසකි. යුරෝපයේ හැම්පර්ස් සංස්කෘතිය ආරම්භ වූයේ අද මෙන් සුඛෝපභෝගී තෑගි හුවමාරු කරගැනීමක් ලෙස නොවේ. දුර බැහැර ගමනක් යන විට ආහාර පාන ආරක්ෂිතව ගෙන යාම සඳහා වේවැල්වලින් කළ කූඩ යොදා ගත්තේය. බර අඩුවීමත්, ශක්තිමත්වීමත් නිසා මුල් කාලයේදී යුරෝපයේදී මේවා ජනප්‍රිය විය. ඒවා හැඳින්වූයේ ‘‘හැම්පර්ස්’’ යනුවෙන්ය. පසු කාලීනව යුරෝපයේ සිටි ධනවත් ඉඩම් හිමියන් සහ පල්ලිය විසින් වසර අවසානයේදී තමන්ගේ වතුවල සේවය කරන දුප්පත් පවුල්වලට ආහාර, පාන්, චීස්, මස් සහ උණුසුම් ඇඳුම් ඇතුළත් හැම්පර්ස් පරිත්‍යාග කළේය. ආහාර හිඟ කාලවලදී ජීවත්වීමට මෙන්ම ශීත සෘතුවේදී දැඩි සීතලෙන් ආරක්ෂාවීමට මේ හැම්පර්ස් දුප්පත් යුරෝපීයන්ට මහඟු සම්පතක් විය.


ලංකාවට නම් හැම්පර්ස් සංස්කෘතිය ආවේ බ්‍රිතාන්‍ය ජාතිකයන් නිසාය. ලංකාවේ තේ සහ රබර් වතු පාලනය කළ සුදු ජාතිකයන් නත්තල් කාලයට තම හිතමිතුරන්ට මෙන්ම වතුවල සේවය කළ සේවකයන්ටද වියළි ආහාර, සීනි, තේ කොළ සහ රසකැවිලි ඇතුළත් කූඩ පරිත්‍යාග කළහ. අද මෙන් සුපිරි වෙළෙඳසල් නොතිබූ ඒ කාලයේදී හැම්පර්ස් සකස් කළේ කොළඹ පිහිටි සුපිරි වෙළෙඳසල් දෙකකි. එකක් කාර්ගීල්ස් සාප්පුවයි. අනෙක විලියම් මිලර් සමාගමයි. ඒ වන විට බ්‍රිතාන්‍යයේ පැවති ආකාරයටම මෙම සමාගම් දෙක අලුත් අවුරුද්දට සහ නත්තලට විශේෂ හැම්පර්ස් සකස් කළහ. ඒවාට ඇතුළත්වූයේ යුරෝපයෙන් ආනයනය කරන ලද සුඛෝපභෝගී භාණ්ඩයි. අද මෙන් චීස්, විස්කි, වයින් ජනප්‍රිය නොවූ එකල හැම්පර්ස්වලට ඇතුළත්වූයේ ඒවාය. යුරෝපයේ සිට නැව් මගින් ගෙන එන ලද චීස්, ස්කොච් විස්කි, වයින්, ටින් කළ මස් වර්ග, පලතුරු, කේක්, චොකලට් වැනි දුර්ලභ දේ හැම්පර්ස්වලට ඇතුළු විය. ඒවා වේවැල් කූඩවල අසුරා උඩරට වතු බංගලා වෙත දුම්රියෙන් යැවීම එකල නත්තල් කාලයේ සුලබ දසුනක් විය.


හැම්පර්ස් සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය වූයේ විවෘත ආර්ථිකයෙන් පසුවය. විවෘත ආර්ථිකයට පෙර ඉහළ පන්තියේ ජනතාව අතර හුවමාරු වූ හැම්පර්ස් පසුව සාමාන්‍ය ජනතාව අතටද පත්විය. එය කොතරම් ජනප්‍රිය වී තිබෙන්නේද යත් නත්තල් කාලයට සුපිරි වෙළෙඳසල් සියල්ලේම පාහේ හැම්පර්ස් සකස් කර තිබෙන්නේය. රුපියල් හාර පන්දහසෙන් ආරම්භවී රුපියල් ලක්ෂය, දෙක දක්වා වන හැම්පර්ස් ඇතැම් සුපිරි වෙළෙඳසල්වල තිබෙන්නේය. නත්තල් කාලයට බෙදන හැම්පර්ස්වලට නත්තල් කේක් ගෙඩියක්, වයින් බෝතලයක් පමණක් නොව විදේශීය මත්පැන් බෝතල් පවා ඇතුළත් වන්නේය.


දැන් නම් අවුරුද්ද අන්තිමේදී හැම්පර්ස් බොහෝ විට බෙදන්නේ විවිධ සමාගම් සහ ආයතන මගින්ය. එසේ දෙන ඇතැම් හැම්පර්ස් දේශපාලඥයන්ගේ ගෙවල්වලටත් යන්නේය. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ඉහළ නිලතල දරන්නන්ටද රාජ්‍ය නිලධාරීන්ගේ ගෙවල්වලට, කාර්යාලවලටත් යන්නේය. ඒ අතරම ව්‍යාපාර ආයතනද තමන්ට උදව් කරන අයට හිතවතුන්ට අවුරුද්ද අන්තිමේදී හැම්පර්ස් එකක් යවන්නෝය. අද මෙන් එකල චීස්, ජෑම් සේම බෝතල් කර ඇති කල්තබා ගත හැකි ආහාර, ටින්මාලු හැම තැනම තිබුණේ නැත. එම ආහාර අයත් වූයේ සුපිරි ආහාර ලෙසය. එකල සිටි සුපිරි ආහාර වර්ග තිබුණේ හැම්පර්වල පමණි. එම හැම්පරයේ තිබූ චීස් ටින් එක කැඩීමට වෙනම කටර් පවා ඕනෑ වී තිබුණේය. ඒ එවැනි කටර් ඉස්සර හැම ගෙයකම නොතිබූ නිසාය. කිරල මූඩිය ගැසූ වයින් බෝතලය ගැලවීමට මහා යුද්ධයක් කිරීමට සිද්ධ වූයේ ඒවා ගලවන උපකරණ සාමාන්‍ය ගෙවල්වල නැති නිසාය.


දැනට දශක කිහිපයකට පෙර එසේ හුවමාරු වූ අපූරු හැම්පර්ස් වර්ග ගණනනාවකි. පුත්තලම දිස්ත්‍රික්කයෙන් දශක ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ෆෙස්ටස් පෙරේරා තමන්ගේ හිතවතුන්ට බෙදා දුන්නේ මාළු පෙට්ටියකි. ඩී.බී. විජේතුංග කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී ඔහුගේ ප්‍රවෘත්ති ලේකම්වරයා වූයේ හැරල්ඩ් පීරිස්ය. හැරල්ඩ් අවුරුද්ද අන්තිමේදී මාධ්‍යවේදී හිතවතුන්ට හැම්පර්ස් බෙදුවේ නැත. ඒ වෙනුවට අඹ පැළ බෙදා දුන්නේය.


2015 මැතිවරණය කාලයේදී මාධ්‍ය ආයතනවලට අපුරු හැම්පර්ස් එකක් ආවේය. රටේ සෑම මාධ්‍ය ආයතනකටම ලැබුණ මෙම හැම්පර්ස් එකේ තිබුණේ ඩෝනට්ස්ය. එම හැම්පර්ස් එක එවා තිබුණේ පාඨලී චම්පික රණවකය. පාඨලී ඇමැති ධුරය දැරූ කාලයේදී පැවති කිසිදු සාදයකට මත්පැන් එකතු කරගෙන තිබුණේ නැත. අඩුම තරමින් ඔහු තමන්ගේ හිතවතෙකුටුවත් මත්පැන් බෝතලයක්වත් යවා තිබුණේ නැත. මැතිවරණය අතරවාරයේදී පැමිණි පාඨලීගේ උපන්දිනය වෙනුවෙන් මාධ්‍ය ආයතනවලට කුමක් හෝ දිය යුතු බවට අදහසක් මතුවුණේය. ඒ වන විට පාඨලී චම්පික රණවකගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ධනුෂ්ක රාමනායක අපූරු යෝජනාවක් ගෙන ආවේය. ඒ උපන්දිනය වෙනුවෙන් සෑම මාධ්‍ය ආයතනයකටම ඩෝනට්ස් බෙදා දීමටය. නිකම්ම ඩෝනට්ස් දෙනවා වෙනුවට චම්පිකගේ මනාප අංකය වන අංක එක සහිතව බෙදා දුන් ඩෝනට්ස් කාගේත් අවධානයට ලක්විය.


හැම්පර්ස් සහ පොලිසිය අතරත් ඇත්තේ ගහට පොත්ත වැනිම වූ සම්බන්ධයකි. අවුරුද්ද මුලදී පොලිස් පොඩ්ඩෝ, පොලිස් ලොක්කෝ හමුවීමට යන්නේ අලුත් අවුරුද්දට සුබ පැතීමටය. පොලිස් ලොක්කෝ, පොලිස් පොඩ්ඩන්ගෙන් සුබ පැතුම පමණක් බලාපොරොත්තු වන්නේ නැත. සුබපැතුමත් සමගින් හැම්පර්ස් එකක් ද බලාපොරොත්තු වන්නෝය. මේ බව දන්නා පොලිස් පොඩ්ඩෝ, සිය සගයින්ගෙන් පමණක් නොව ව්‍යාපාරික හිත මිතුරන්ගේද සහාය ඇතිව වටිනා හැම්පර්ස් එකක් සකස් කිරීමට අමතක කරන්නේ නැත. පසුගිය අවුරුද්දේදී උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල පොලීසියට නියෝගයක් දුන්නේය. අලුත් අවුරුද්ද වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට හැම්පර්ස් නොදිය යුතු බවත්ය. අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන් පැමිණ සුබපැතුම් එක් නොකළ යුතු බවත්, දුරකතනයෙන් කතා කර හෝ වට්ස් ඇප් පණිවුඩයක් මගින් පමණක් සුබ පැතුම් එක් කිරීම ප්‍රමාණවත් බවත් ඔහු උතුරු පළාතේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලිඛිතව දැනුම් දුන්නේය. උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වුවත් පොලිසියට හැම්පර්ස් දීම ගැන නියෝග නිකුත් කර තිබුණේ ඊටත් පෙරය. ඒ පොලිස්පති එන්.කේ ඉංගකෝන්ය. ඔහු පොලිස්පතිවරයා බවට පත්වූ පසුව චක්‍රලේඛයක් නිකුත් කළේය. එයින් කියවුණේ පොලිසියේ ඉහළ නිලධාරීන්ට හැම්පර්ස් නොදිය යුතු බවය.


තවමත් සක්‍රිය පොලිස් සේවයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට වරක් හැම්පර්ස් එකක් ලැබුණේය. සුපුරි වෙළෙඳසල් ජාලයක් විසින් සකස් කර තිබූ හැම්පර්ස් එක ඔහුට දී තිබුණේ ව්‍යාපාරික හිතවතෙකි. තමන්ට ලැබුණ හැම්පර්ස් එක ගෙදර ගෙන යනවා වෙනුවට පොලිසිය තුළදීම එය විවෘත කළේය. විශාල හැම්පර්ස් එක කුඩා හැම්පර්ස් බවට පත් කළ ඔහු ඒවා පොලිසියේ කුඩා නිලධාරීන් අතර බෙදා දුන් ආකාරය ගැන පොලිස් පොඩ්ඩෝ තවම කතාවෙති. පොලිස් පොඩ්ඩෝ කියන්නේ ඉහළ පොලිස් නිලධාරියෙක්ට ලැබුණ හැම්පර්ස් එකක් එසේ පොලිස් පොඩ්ඩන් අතර බෙදාදුන්නේ පළමු වතාවට බවය. ඒ දවස සිටි යුද හමුදාපතිවරයා ජනපති, අගමැති, ආරක්ෂක ඇමැති ඇතුළු රජයේ නිලධාරින්ට වසර අවසානයේදී හැම්පර්ස් ලෙස යැව්වේ යුද හමුදාවේ කාබනික නිෂ්පාදනයන් ලෙස සකස් කළ සහල් හා එළවළු, පලතුරුය. වේවැල් කූඩයක එළවළු හා පලතුරු අසුරා ඇති මේ හැම්පර්ස් වැඩේ නැගලා ගියේය.


නත්තල් කාලයට හැම්පර්ස් බෙදා දෙන ආකාරයටම දැන් දශක කිහිපයක් තිස්සේ කවුරුන් එවන්නේදැයි නොදන්නා තෑගි හුවමාරු කරගන්නේය. නත්තල් කාලයට හුවමාරු කරගන්නා මෙම තෑගි හුවමාරු ක්‍රමවේදයට කියන්නේ “ සීක්‍රට් සැන්ටා” කියාය. නත්තල් සීයා තෑගි ගෙනවිත් දීම සිහිපත් කරමින් පවත්වන සීක්‍රට් සැන්ටා තෝරා ගනු ලබන්නේ කුසපත් ඇදීමෙන්ය. ආයතනයේ සේවකයන්ගේ නම් සහිත කුසපත් එකිනෙකා අතර හුවමාරු කරන්නේය. ඒ අනුව තමන්ට තවත් අයෙක්ගේ නමක් ලැබෙන්නේය. එම පුද්ගලයාට නත්තල වෙනුවෙන් තෑග්ගක් සූදානම් කළ යුතු වන්නේය. එම තෑග්ග දෙන්නේ කවුරුන් විසින්ද යන්න රහසක් කොට තබාගන්නේය. තෑගි ලබන්නාගේ රුචි අරුචිකම් ගැන සිතා බැලීමෙන් පසුව මෙම තෑගි ආයතනයේ ඇති නත්තල් ගස අසලින් තබන්නේය. නත්තල් දවසට හෝ ඊට පෙර එම තෑගි බෙදා ගන්නේ හැම්පර්ස් සංස්කෘතියට අලුත් අංගයක් එක් කරමින්ය.


හැම්පර්ස් සහ තෑගිවලට අමතරව සමහරු තෑගි වවුචර දෙන්නෝය. සුපිරි වෙළෙඳසල්, ඇඳුම් මිලදී ගත හැකි සාප්පුවලින් දෙන තෑගි වවුචර දෙන්නේ තමන්ට අවශ්‍ය දේ මිලදී ගැනීමටය. හැම්පර්ස් වෙනුවට මුදල් දෙන අවස්ථාද දැන් නැත්තේ නොවේ.


සමහර ආයතන අනෙක් ආයතනවලට ලොකු ලොක්කන්ට හැම්පර්ස් එවද්දී පොඩ්ඩන්ට කැලැන්ඩර, දින පොත් දෙන්නේය. දැනට දශකයකට දෙකකට පෙර කැලැන්ඩර සහ දිනපොත් දීම ජනප්‍රිය වී තිබූ නමුත් දැන් නම් දින පොතක්, කැලැන්ඩරයක් දෙන්නේ ඉතාම කලාතුරකින්ය.


කාලයත් සමග හැම්පර්ස් වෙළෙඳ ප්‍රචාරණය සඳහාත් යොදා ගත්තේය. හැම්පර්ස් ලෙස සකස් කළ පෙට්ටියක් වෙනුවට තනි තනි අයිතම තෑගි ලෙස දීම ගැන ප්‍රචාරණයන් කළේය. අප්‍රේල් අවුරුදු කාලයට තෑගි දෙන සාස්තරය සමගින් සමහර නිෂ්පාදන හැම්පර්ස්වලින් එළියට පැමිණ රූපවාහිනියට එන්නේය. වෙනදාට මේසය උඩ තියන තෑගි දුන් සමහරු පසුව ෆිජ් එකේ තිබෙන තෑගි දෙන්නට වූහ. තෑගි, නැතිනම් හැම්පර්ස් ලෙස කවුරු මොනවා දුන්නත්, ඒවා දෙන්නේ හිතේ සතුටින්ය. ගන්නේද ඊටත් වඩා සතුටින්ය. ඒ දැන් හැම්පර්ස් පිටුපස අඩු වැඩි වශයෙන් වන ලාභ අලාභ සහිත ගනුදෙනු තිබෙන නිසාය.



 

More News..