Best News Website award
brand logo
logo
 රැවුළ වවාගෙන ප්‍රි ෂූට් කළ ට්‍රැෆික් රාලහාමි පොලිසි‌යෙන් උස්සලා

රැවුළ වවාගෙන ප්‍රි ෂූට් කළ ට්‍රැෆික් රාලහාමි පොලිසි‌යෙන් උස්සලා

24 November 2026 | එෆ්. අස්ලම්


පොලිස් නිල ඇඳුමෙන් සිය පෙම්වතිය සමග විවාහයට පෙර ඡායාරූප ලබාගැනීම (ප්‍රී ෂූට්) සඳහා මහනුවර නගරයේ රැඳී සිටි මුහුණේ සම්පූර්ණයෙන්ම රැවුළ වවාගත් පොලිස් නිලධාරියකු මහනුවර පොලිසිය වෙත රැගෙන ගොස් ඇප මත මුදාහැර තිබේ.


මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ තලංගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.


මුහුණේ සම්පූර්ණයෙන්ම රැවුල වවාගත් පුද්ගලයකු පොලිස් රථවාහන නිල ඇඳුමකින් සැරසී මහනුවර යටිනුවර වීදියේ කොළඹ වීදිය මංසන්දියේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව මහනුවර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු එහි ගොස් එම පුද්ගලයා පොලිසියට කැටුව ගොස් තිබේ.


එහිදී මෙම පුද්ගලයා සැබැවින්ම පොලිස් නිලධාරියකු බවත් හින්දු ජාතිකයකු වන ඔහුගේ විවාහ මංගල්‍යය ලබන මස 06 වැනිදාට යෙදී තිබීම මත පෙම්වතිය හා ප්‍රී ෂූට් සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිට ඇති බවත් අනාවරණය වී ඇත.


මෙම නිලධාරියාට හින්දු සම්ප්‍රදායකට අනුව රැවුල වවාගෙන විවාහ මංගල්‍යයට සහභාගී වීමට පොලිස්පතිවරයා විසින් අවසර ලබාදී ඇති බවද අනාවරණය වී ඇත.


එවැනි පසුබිමක පෙම්වතිය පැමිණෙන තෙක් රැඳී සිටියදී මෙම අකරතැබ්බයට මුහුණ දීමට සිදුව ඇතැයි පොලිසිය පවසයි.


මේ හේතුවෙන් මොවුන් සැලසුම් කළ අන්දමින් ඔවුන්ගේ ජායාරූප පවා ගැනීම අසීරු වී තිබෙන බවද පොලිස් ආරංචිමාර්ග කියා සිටියි.


මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර්ගෙන් ‘අරුණ’ කළ විමසුමකදී කියා සිටියේ පොලිස් නිලධාරියකුට මුහුණේ සම්පූර්ණයෙන්ම රැවුල් වැවිය නොහැකි බවත් සැකපිට මෙම නිලධාරියාව ප්‍රශ්න කිරීම් සඳහා රැගෙන ගොස් ඇති බවත්ය.

 

More News..