ශිරන්තිගේ සිරිලිය සවිය මොකක්ද?
10 October 2026 | අනීෂා මානගේ
ශිරන්තිගේ සිරිලිය සවිය මොකක්ද?
10 October 2026 | අනීෂා මානගේ
රටේ ඉහළ තනතුරු තානාන්තර දරන මහත්තුරුන්ගේ බිරින්දෑවරු සමාජ සේවා වැඩ රාජකාරිවල නිරතවීම සාමාන්‍ය සිරිතය. යුද හමුදාපති, නාවික හමුදාපති බිරින්දෑවරු සේවා වනිතා ඒකකයේ සභාපති පුටුවට පත්වන්නෝය. සේවා වනිතා ඒකකයෙන් කරන්නේ සුබසාධන වැඩය. අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ බිරිය වූ සිරිමාවෝ මැතිනිය දේශපාලනයට පිවිසෙන්නට පෙර සිටම සමාජ සේවා වැඩ කළාය. මහිලා සමිතියේ පළමුවැනි සභාපතිනිය වූයේ ඇය ය. ජනපති ජේ.ආර් ගේ බිරිය එලීනා ජයවර්ධන ද අප්‍රකටව සමාජ සුබසාධන වැඩ රාජකාරි බොහෝමයක් කළාය.
මහාචාර්ය පැට්‍රික් රත්නායක වරක් පවසා තිබුණේ තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකාර කළේ එලීනා ජයවර්ධන බවය. තමාට උපකාර කරන ලෙස ජනපතිවරයාට ලිපියක් යැවූ විට එම කැඳවීම අනුව තමා කැඳවූ ජනපතිවරයා රජයේ ප්‍රතිපාදනවලින් උපකාර කිරීමට නොහැකි වුවත් තම බිරිඳ එය බලාගනු ඇති බව ජනපති කී බව ඔහු පවසා තිබුණේය.
හිටපු ජනපතිවරුන්ගේ බිරින්දෑවරු හැමෝම පාහේ සමාජ සේවා කටයුතු කළහ. ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පතිවරුන්ගේ බිරියෝද එවැනි වැඩ කළහ පස්වැනි විධායක ජනපති පුටුවේ වාඩිවෙන්නට වරම් ලැබූ මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ද අනෙක් ජනපති බිරින්දෑවරු මෙන් සමාජ සේවා කටයුතු කළාය. ඇය ඒ වෙනුවෙන් සංවිධානයක් පිහිටුවා ගත්තාය. සංවිධානයේ ලේකම් තනතුර දැරුවේ කුමාරි දිසානායකය. භාණ්ඩාගාරික නිරෝෂා ජීවනී ය. කමිටුවේ සාමාජිකයෝ කිහිපදෙනෙක්ද වූහ. මේ සංවිධානය ‘‘සිරිලිය සවිය’’ නමින් නම් කෙරුණේය. එය ගොඩනැගුණේ 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීමේ) පනත යටතේය. එෆ්එල්-111201 අංකය යටතේ දෙදහස් හයේ දෙසැම්බර් අට වැනිදා එය සංවිධානයක් ලෙස ලියාපදිංචි කර ඇත්තේ ලියාපදිංචි ලිපිනය හැටියට තංගල්ල ‘කාල්ටන්’ නිවෙස නම් කරලාය. කාල්ටන් කියන්නේ ඇගේ සැමියාගේ නිවසය. මේ සංවිධානයට අදාළව 143100146235069 අංකය යටතේ ගොඩනැගූ බැංකු ගිණුම ‘‘සිරිලිය සවිය ගිණුම’’ය. ගිණුම ඇත්තේ මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේය. සුදුවැල්ල ඇත්තේ කොළඹ මරදානේය.
අපේ රටේ උදවිය මේ දිනවල වැඩිපුරම කතා කරන ගිණුම ‘‘සිරිලිය සවිය’’ ගිණුම යැයි කීවද තක්කෙටම හරිය. ඒ මන්ද යත් ‘සිරිලිය සවියේ’ සභාපති වූ හිටපු ජනපති බිරිය ශිරන්තිට වැලිකඩ හිරගෙදර කූරු ගණින්නට වූයේ මේ ගිණුම නිසාය.
ඒ දූෂණ විරෝධී පෙරමුණ මීට එකොළොස් වසරකට ඉහතදී කළ පැමිණිල්ලකට අදාළවය. ඒ පැමිණිල්ල වූයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සීටී ස්කෑන් යන්ත්‍රයක් ගැනීමට බව කියමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ සීයක මුදලක් සිරිලිය සවිය ගිණුමට බැර කරගැනීමය. එම මුදල් සාපරාධී පරිහරණය ජනපති බිරිය ශිරන්තිට එල්ල වූ චෝදනාවය.
මේ චෝදනා ගැන විමර්ශන කර තිබුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොමිෂන් සභාව ඒකාබද්ධවය. එහිදී අනාවරණය වූ බව කියන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලට සීටී ස්කෑන් යන්ත්‍රයක් ගැනීමට ‘‘සිරිලිය සවිය’’ සංවිධානය දෙදහස් දහය වසරේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ සීයක මුදලක් ලිඛිතව ඉල්ලා ඇති බවය. එකල ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිව සිට ඇත්තේ ප්‍රදීප් ගාමිණි එරාජ් කාරියවසම් ය.
සීටී ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මුදල් ලැබුණද එය ප්‍රමාණවත් වී නැති බව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කියන්නේය. හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් දෙසීයක නීතිඥ මණ්ඩලයක් සමග අධිකරණයේ පෙනී සිටියේ ඔහුය. සීටී ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගන්නට එකල රුපියල් මිලියන එකසිය හැටක මුදල් අවශ්‍යතාවක් තිබී ඇත්තේය. ඒත් දෙදහස් දාහතර වනතුරුත් ‘‘සිරිලිය සවිය’’ට එකතු වී ඇත්තේ රුපියල් මිලියන හතළිස් දෙකක් ය. ස්කෑන් යන්ත්‍රය මිලදී ගන්නට නොහැකි වී ඇතැයි කියන්නේ ඒ නිසාය.
දූෂණ විරෝධී පෙරමුණ ‘‘සිරිලිය සවියට’’ එරෙහිව පැමිණිලි කළ විගස ගිණුමේ සියලු ගනුදෙනු තහනම් කර ඇත්තේය. තවදුරටත් එයට මුදල් එකතු වී නැති බව ශිරන්ති රාජපක්ෂගේ පැත්තෙන් කියන කතාවය.
කෙසේ නමුදු මේ ගිණුම ගැන විමර්ශනය කළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසා ඇත්තේ ‘‘සිරිලිය සවිය’’ ගිණුමට මුදල් බැරවූ පසු එම බැංකු ගිණුමෙන් අවස්ථා බොහොමයකදී මුදල් ගෙන ඇති බවය. ගිණුම අත්හිටුවනතුරු රිජ්වේ ආර්යා රෝහලට සීටී ස්කෑන් යන්ත්‍රයක් දී නැතැයිද රෝහලට ස්කෑන් යන්ත්‍රයක් දීමට මුදල් එකතු කරන විත්තිය ගැන රෝහලද දැනගෙන සිට නැති බව අල්ලස් කොමිසම කියන්නේය.
දෙදහස් දාහතරේ අප්‍රේල් 29 වැනිදා රිජ්වේ ආර්යා ළමා රෝහලට එම්.ආර්.අයි යන්ත්‍රයක් ගැනීමට ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මැදිහත් වී ඇත්තේය. මහජන චීන සමූහාණ්ඩුවෙන් එම්.ආර්.අයි යන්ත්‍රය දී තිබුණේ ශිරන්ති රාජපක්ෂගේ ඉල්ලීමක් නිසාය.
‘‘සිරිලිය සවිය’’ ගිණුමේ මුදල් ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනය කරද්දි හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂගෙන් ද කරුණු විමසා තිබුණේය. ඇය කියා ඇත්තේ රිජ්වේ ආර්යා රෝහලට චීන රජයෙන් එම්.ආර්.අයි යන්ත්‍රයක් චීන රජයෙන් ලැබුණු පසු සී.ටී ස්කෑන් යන්ත්‍රයට එකතු කළ මුදල් ‘‘සිරිලිය සවිය’’ ගිණුමේ තිබෙන්නට හැරියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ළමයින්ට රෝහලක් සෑදීමට බවය. කිසිදු අවස්ථාවක මේ ගිණුමේ මුදල් තමාගේ පරිහරණයට නොගත් බවද ඇය කියා ඇත්තේය.
මේ විමර්ශනය හැරුණුකොට ශිරන්තිගේ සිරිලිය සවිය ගිණුමට එරෙහිව යහපාලන ආණ්ඩු සමයේ තවත් විමර්ශනයක් කර තිබුණේ ය. ඒ, ගිණුමට අදාළව තොරතුරු දුන් තිදෙනාගේම ලිපිනයන් හැටියට දී ඇත්තේ තංගල්ල කාල්ටන් නිවෙසේ ලිපිනය වීම නිසාය. එමතු නොවේ හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය වෙනුවට දී ඇත්තේ 222222222V නමැති අමුතු අංකයක් ය. සාමාන්‍යයෙන් පැරැණි ජාතික හැඳුනුම්පත් අංකයක මුල් ඉලක්කම් දෙකෙන් කියැවෙන්නේ අදාළ තැනැත්තා උපන් වර්ෂය ය. එහෙත් ශිරන්ති රාජපක්ෂ 1922 වසරේ උපන් තැනැත්තියක නොවේ. ඊට අදාළවද ඇයට චෝදනා එල්ල වුණේය.
‘‘සිරිලිය සවිය’’ට රතු කුරුස සංවිධානයෙන් දුන් ඩිෆෙන්ඩර් රියක් ගැනද වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කළේය. ඒ 2017 වසරේදීය. මේ ඩිෆෙන්ඩරය දී ඇතැයි කියන්නේ 2011 වසරේ සිට 2015 දක්වා කාලයට බව රතු කුරුසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබුණේය.
‘‘සිරිලිය සවිය’’ සංවිධානය පිහිටුවීමේ මූලික අරමුණ වී තිබුණේ දුප්පත්කම දුරලීමට ප්‍රදානයන් දීමය. අසරණ රෝගීන්ට පිහිටවීමය. දරිද්‍රතාව තුරන් කිරීමට උපකාරි වීමය. ඒ අරමුණ සම්පූර්ණ කරන්නට ‘‘සිරිලිය සවිය’’ අපේ රටේ උදවියට සවියක් වූ අවස්ථා බොහෝය.
මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ට නවාතැන් ගන්නට ඇඳන් සීයකින් යුතු වාට්ටුවක් සාදා දී තිබුණේ ‘‘සිරිලිය සවිය’’ සංවිධානයෙන් ය. එය සාදා ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අම්මා වන දන්දිනා දිසානායක සහ ශිරන්ති රාජපක්ෂගේ අම්මාගේ නමින් ය.
පිළිකා රෝගයෙන් පීඩා විඳි පස් හැවිරිදි දරුවකුට ද ‘‘සිරිලිය සවිය’’ සවියක් වූ බව එවකට අරලියගහ මැදුරේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස සේවය කළ අනෝමා වැලිවිට කියන්නීය.
“පිළිකා රෝගයෙන් පීඩා විඳපු අවුරුදු පහක දරුවෙක් එක්ක අම්මයි තාත්තයි අරලියගහ මන්දිරයට ආවා. ඒ දරුවාව ඉන්දියාවේ යවන්න මුදල් නැතුවයි ආවෙ. මමයි එයාලව සම්බන්ධීකරණය කළේ. මේ දරුවා ඉන්දියාවේ යවලා හොඳ කළා. ඒ අම්මලා ගොඩක් දුප්පත්. අඩුම තරමෙ ගෙදර සිමෙන්තිවත් දාල තිබුණෙ නෑ....” ඇය කීවාය.
දරුවාගේ පියා වන අලව්ව පහළවළකුඹුර, අඹයායවත්තේ පදිංචිව සිටින කේ.එච්.ඩබ්ලිව්. මංජුල ප්‍රියදර්ශනද එය තහවුරු කළේය. පුතුන් දෙදෙනකුගේ සහ දියණියන් දෙදෙනකුගේ පියකු වන මංජුලගේ වැඩිමහලු පුතා කුඩා කාලයේදීම ලියුකේමියා රෝගයෙන් පීඩා විඳ තිබුණේය. පුතු සුවපත් කරගැනීමට ඉන්දියාවේ යවන්නැයි වෛද්‍යවරු නියම කළත් ඒ වන විටත් එදාවේල පිරිමහගන්නට නොහැකිව උන් මංජුලට පුතු සුවපත් කරගැනීම හීනයක් වී තිබුණේය. ඔහුට ශිරන්ති රාජපක්ෂ හමුවී තිබුණේ අහම්බයෙන්ය. මංජුල කියන හැටියට පුතු වෙනුවෙන් ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ රුපියල් කෝටියකට අධික මුදලක් වියදම්කර ඇත්තේය. මේ ඔහු අපට කී කතාවය.
“මගෙ ලොකු පුතාට අවුරුදු පහේදි ලියුකේමියාව හැදුණා. අපි පුතාවත් තියාගෙන මහරගම අපේක්ෂා රෝහලේ පුතා තියාගෙන අවුරුද්දක් විතර හිටියා. එහෙම ඉන්නකොට කිහිප වතාවක්ම අපි දැක්කා ශිරන්ති මැඩම් ඇවිත් උදව් කරනවා. අපේ පුතාව මෙහෙදි හොඳකරන්න බැහැ කියලා ඉන්දියාවේ ඇපලෝ රෝහලට යවන්න කියලයි හොස්පිට්ල් එකෙන් කිව්වෙ. දවසක් අපේ පුතාට අමාරුවෙලා දැඩි සත්කාරයට දැම්මා. එදා ශිරන්ති මැඩමුත් ආවා. මගෙ පුතා දැකලා විස්තර ඇහුවා. ඒ වෙද්දි අපි මැඩම් කවුද කියල විතරයි දන්නෙ. මගෙ පුතාට උදව් කරන්න කැමැති වුණා. අපි යූඑන්පීද, ජේවීපීද, ශ්‍රී ලංකාද කියල මොකුත් අපෙන් ඇහුවෙ නෑ. අපිට උදව් කරන්න කැමැති වුණා. ඩොක්ටර්ලා අපිට කිව්වෙ ලක්ෂ හැටක් වගේ වියදම් වෙයි කියලයි. පුතාලා දෙන්නත් එක්කම ඉන්දියාවට එක්කන් ගිහින් ශල්‍යකර්මය කරන්න අපේ වියදම් ඔක්කොම දැරුවෙ මැඩම්. ඊට පස්සෙ මාස තුනකට සැරයක් පුතාව ඉන්දියාවෙ එක්කන් ගිහින් පෙන්වන්නත් මැඩම් දිගටම වියදම් කළා. ඒත් මගේ පුතා 2012 දි නැතිවුණා. පුතා නැතිවුණ වෙලාවෙත් මැඩම් මළගෙදර ආවා. එදාත් අපිට වියදම් කළා. මගේ නෝනට ඒ වෙද්දි දුව හම්බවෙන්න හිටියෙ. දරුවට අවශ්‍ය සියලුම බඩු අරන් දුන්නෙ මැඩම්. කෝටියකට ආසන්න මුදලක් අපි වෙනුවෙන් මැඩම් වියදම් කරන්න ඇති. මාව වදාපු අම්මටත් වඩා මගේ දරුවාගෙ ජීවිතය බේරල දෙන්න එතුමිය තමයි මට පිටුවහලක් වුණේ....” මංජුල කියන්නේය.
‘‘සිරිලිය සවිය’’ සංවිධානයෙන් රට පුරා වෛද්‍ය සායන පැවැත්වුණේය. අලව්ව, බෝයවලාන විද්‍යාලයේ පැවැති වෛද්‍ය සායනයකට තමන් ගිය බව මංජුලද අපට කීවේය. එදා දහස් ගණනක පිරිසකට නොමිලයේ වෛද්‍ය පරීක්ෂණ මෙන්ම බෙහෙත් ලබා දුන් බවද ඔහු අපට කීවේය.
ආබාධිත රණවිරුවකු වූ මොනරාගල පදිංචිව සිටි ඩී.එම්.කේ.කේ සිසිර කුමාරට නිවෙස අලුත්වැඩියා කරදෙන්නට සහාය වී ඇත්තේ ද සිරිලිය සවිය සංවිධානය ය. අවස්ථා කිහිපයකදී ඔහු වෙනුවෙන් රුපියල් දහතුන් ලක්ෂ විසි පන්දහසක මුදලක් දී ඇත්තේය.
“මැඩම් ගොඩක් උදව් කළේ ලෙඩ්ඩුන්ට. ආබාධිත අයට ප්ලාස්ටික් කකුල් විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ පොඩි ළමයින්ට දුන්නේ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන් ඒවා. ඒ එක් කකුලක් ලක්ෂයකට වැඩිය වටිනවා. මානසික ප්‍රශ්න තිබුණ දරුවො දෙන්නෙක් පෙර පාසලට ඇතුළත් කරලා දිගටම ඒ දරුවො දෙන්නා ගැන හොයල බලල ඉගැන්නුවා. කණ්ණාඩි දහසකට වඩා දීල තියෙනවා. ශ්‍රවණාබාධ සහිත දරුවන්ට ශ්‍රවණාධාර දුන්නා. සෞදියේදී මරණ දණ්ඩනය ලැබුණු රිසානාගේ ගෙදර අයව හමුවෙන්න ගිහින් එයාලටත් උදව් කළා. ගොඩක් අයට රෝද පුටු දීල තියෙනවා. පිළිකා රෝගීන්ට උදව් කරල තියෙනවා. සිරිලිය සවිය ගිණුම වහල තියෙද්දිත් ගොඩක් අය මැඩම් හොයාගෙන ආවා. මිනිස්සු දන්නෙ නැහැනෙ ගිණුමක් නැහැ කියලා. හැබැයි එහෙම එන අයටත් මැඩම් උදව් කළා.” අනෝමා වැලිවිට කියන්නීය.
යුද්ධයෙන් අතරමං වූ දරුවන් රැක බලාගන්නට සිරිලිය සෙවණ නමින් නිවහනක් තිබුණේය. එහි ආරම්භකයාද ශිරන්ති රාජපක්ෂ ය. යුද්ධයෙන් අතරමං වූ දරුවන් එහි නවතාගෙන රැක බලා ගත්තාය. ඇතැම් දරුවන්ගේ මව්පියන් පැමිණ තමන්ගේ දරුවා රැගෙන ගියද තවත් ඇතැම්හු වැඩිමහලු වනතුරු එහි රැඳී සිටියහ. වව්නියාවේදී හමුවූ වයස අවුරුදු හතරක පමණ දමිළ දැරියක මේ නිවෙසට ඇතුළත් කර තිබුණේය. ඇයගේ ඇසක ආබාධයක් හේතුවෙන් ඈ කොළඹ ගෙනැවිත් ප්‍රතිකාර දෙන්නට පටන් ගෙන තිබුණේය. ඇසේ රෝගය සුව වුවද ශිරන්ති රාජපක්ෂගේ සෙවණේ උන් දැරිය යළි සිරිලිය සෙවණට යන්නට අකැමැති වූවාය. ඇයට ජනපති මැදුරේ ඉන්නට වරම් ලැබුණේය. කොල්ලුපිටියේ පාසලකට ඇතුළත් කළ ඉගැන්වූ ඇය දැන් විදේශගත රැකියාව කරන බව අනෝමා අපට කීවාය.

